Chapter 16

171 12 3
                                    

16 වැනි පරිච්ඡේදය

අමාෂ් ඇඳේ එහාටත් මෙහාටත් පෙරළුණේ මනසින් දෙසවනට අගුළු දාගන්නට උත්සාහ දරමිනි. බැරිම තැන ඔහු නිදා උන් කොට්ටය ගෙන ඉන් කන වසාගත්තේය. එහෙත් ඔහුගේ නින්ද පරදා නිවස තුලින් ඇසෙන සංගීත රාවය දෝංකාර දෙනට විනි.
"ඕ දැන් මං අවදියෙන්..." තරුණ ගායක භූශංකගේ හඬ ඔහුගේ දෙසවන් සිදුරුකරගෙන යනවා සේ විය. මොහොතකට එයාකාරයෙන්ම මුහුණ පුළුටුකරගෙන, නෙත තදකොට වසාගෙන කොට්ටයට මුහුණ යටකරගෙන උන්නේ කොයිම මොහොතක හෝ ජනෙල් වීදුරු බිඳී කෑලි සීසී කඩ යාවි කියා අනුමාන් කරමිනි.
"මොන කන්දොස්කිරියාවක්ද?" අමාෂ් ඇඳේ වාඩිවූයේ සිතට නැගෙන ආවේගයන් පාලනය කරගන්නට වෙර දරමිනි. වීදුරු කවුළු තුලින් එළිය බැළුු ඔහුට පෙනුනේ ඝණ අන්ධකාරය පමණක්මය. ඒහා සැනින් මේස ඔරලෝසුව වෙතට නෙත් දිව ගියේ නිතැතිතිනි. ඩිජිටල් ඔරලෝඅසුවේ පාන්දර හතරයි දහතුන ලෙසින් රතු ඉලක්කමින් දිස් වෙන්නට විනි.
'නෑ ඔබ තනි වී නෑ...එන්න මාහා නටන්න...ගයන්න...'
භූශංක ගීයෙන් ඇරයුම් කරන්නේය.
'මේ රෑ ජාමේ නටන්න ගයන්න තමා මට වෙලා තියෙන්නෙ!' අමාෂ් කටු කුටු ගෑවේය.
'මොකාද මේ පාන්දර පාටි දාගෙන නටන්නේ?' දෙනෙත් කසමින්ම පැත්තකින් තබා තිබුනු වතුර බෝතලය අතට ගත්තේය. නිදි බර නෙතින් බැළුනේ ඔහුට මුහුණලා තිබි දොරටුව දෙසය. ඈ මේ නිවසේ ස්වාමි දියණිය වී ආදා පටන් අමාෂ් ඔහුගේ කාමරයට සම්බන්ධ කොට තිබුණු කුඩා කාර්යාල කාමරයේ ලැගුම් ගත්තේය. තවත් කාමර මේ විසල් නිවසේ වූවත් ඉන් එකක ඔහුට ලැගුම් ගන්නට පින මදි වූවාසේය. ඒ ඔවුන්ගේ අඹුසැමි රඟපෑම කාටත් ඉඟි නොවැටෙන්නටය. මේ කුඩා කන්තෝරු කාමරය මාලික්ට කියා අස්පස් කරගත් ඔහුට කුඩා ඇඳක් එහි සවිකර ගැන්මට හැකි වූයේ බොරු දාහක් කීමෙන් අනතුරුවය. පුටුවල වාඩිවෙලා ෆයිල් කියවන්න මට පුරුදු නෑ කාමූ කියා සිය වියපත් දෙවැනි මවට කීවේ ඈ ඔහුගේ චේතනාවන් කියවා කම්පිත වේ යැයි වූ බියටය. තවත් එකම එක වතාවකටවත් ඒ දෙසට දෙනෙත් යොමු නොකර අමාෂ් ඇඳෙන් නැගිට ගත්තේ ඔය දොරටුවට එහායින් සුරඟනක සේ සැපට නිදන ඈ පිලිබඳ සිතුවිලි සිතට හොර හොරෙන් රිංගාවියැයි බියෙන් වාගේය. ඇතැම් විට දැන් ඈ ඇහැර ඇතුවාට සැක නැත. පාන්දර සලාතයට අදාන් කැඳ වීමට පෙර නැගිට වඉකල්පිත සලාතය ඈ නමදිනවා විය යුතුය. ඇගේ මිහිරි හඬින් ගීතවත් ලෙස පාරායනය කරන කුරාන වැකි නිස්කලංක රාතිරිය වෙලා ගනු ඔහුට කිහිප වතාවක් ඇසී ඇත.
එහෙත් අද ඒ නිස්කලංක බව බිඳිමින් භූශංක ගේ හඬ මුලු නිවසම දෙවනත් කරන්නට විනි. කාමරයෙන් පිට වූ අමාෂ් ඈනුමක් ඇරියේය. එය මග හකුලා ගන්නට වූයේ සිය සොයුරියන් ඔවුන්ගේ කාමරවලින් එලියට එනු දකිත්මය. ඉක්මන් අඩි තියා තරප්පු පෙළ බැසගත්තේ නිවස තුල මේ ඇසෙන කලබැගෑනිය කුමක්දැයි දැනගැනීමට ඇති නො ඉවසිල්ල නිසාවෙනි.   ඔහුගේ හඳවත සංගීතයේ වේගයට ගැහෙන්නට විය. අමාෂ්ට දැනුනේ ඔහු සංගීත සැණකෙළියක ඉන්නා අයුරකි.
'මේ කෙල්ලො නෙමෙයි නම් වෙන කවුද මේ ජවුසන් නටන්නේ?'
අනුමාන කරන්නටත් පෙරම ඔහු ඈ දුටුවේය. සෝෆාවේ සැහැල්ලුවට වාඩිවී දෙනෙත් වසාගෙන සිහින ලොවක පාවෙන්නාක් සේ ඈ උන්නාය.
'ඒ පාර මොනවා වෙලාද?'
'තාම හොයා ගත්තු නැති කළු කුමාරයා එක්ක නටනවද කොහෙද!'
කවදත් දොඩෝන හිත කියවන්නට විය.
"මොනවා කරනව කියලද හිතං ඉන්නේ?" අමාෂ් උගුර යටින් කෑ ගැසුවේය. ඔහුගේ හඬ ඇයට නෑසුනා විය යුතුය. එකදු ඉරියව්වක් වත් වෙනස් වූයේ නැත. අමාෂ් ආපස්සට හැරී බැළුවේය. දඩබ්බර යුවතියන් බියෙන් භිරන්ත වී සේ බලා උන්හ. ඔවුනතරට භියපත්ව පැමිනි කම් රුන් වෙතට අමාෂ් බැල්මක් පා කළේ මේ විකාරයේ තේරුම ඈවත් දන්නවාදැයි අනුමාන කරගන්නටය. එහෙත් වයසක ඈ කිසිවක් නොදත් වග ඇගේ බිය රැඳි දෙනෙත් තහවුරු කරන්නට විය. ඉනේ අත් ගහගෙන මොහොතක් ලොවම අමතක කොට උන් ඇය දෙස බලා ඈ කෙරෙහි වූ කෝපයෙන්ම සීඩී යන්ත්රය ක්රියා විරහිත කළේය. ඉඩෝරයකට පසු වසින වැස්සක් නැවතුනාක් සේ මුළු පරිසරයම එකවර නිෂ්ශබ්දතාවයෙන් පෙලෙන්නට විය. බරකාහ් තිගැස්සී දෙනෙත් ඇරියාය.
"මොන කෙහෙල්මලකද ඔය?" අමාෂ් ගුගුලේය. එහෙත් ඈ ඔහුගේ වියරු කෝපයෙන් නොසැලුනාය. වරදක් කළාය යන තැවුලක සේයාවක් වත් ඈ වතේ ඉරියව් වලින් පිලිඹිඹු නොවිනි. සොඳුරු මද සිනහවකින් වත සරසා ගත් ඇය උනස්නයෙන් නැගිට ගත්තාය.
"මං මේ කල්පනා කළේ නරලොව හොල්මන් ගැන..." ඇයටම ආවේනික වූ මුදු හඬින් ඈ කීවාය. අමාෂ්ගේ දෙබැම රැලි වූයේ ඔහුගේ තරහේ රේඛා නලලේ ඉස්මතු කරමිනි. නපුරු දෙනෙත් නැඹුරු වූයේ ඇගේ පැහැදිලි කිරීමක් අවශ්ය වග අභියෝඑග කරමිනි.
"දන්නවද ඇනි, ඔයා හරි. සංගීතය මාරම ආතල් එකක් දෙනවා...විශේෂයෙන් ඔයා අහන සිංදු...මාර ගතියක් නේ තියෙන්නේ...හරියට නර ලෝකෙට ගියා වගේ...නිකංම නැටවෙනවා." අමාෂ්ගේ බැල්ම නොතකා අනීකාගේ දෙනෙත ග්රහණය කරගනිමින් බරකාහ් කීවාය. පසුව ක්රමයෙන් අනෙක් දෙදෙනා වෙතට ඈ බැල්ම පා කළාය.
"ඔයාගේ පරීක්ෂණ වලට වෙන වෙලාවක් තිබුන්නැද්ද?" අමාෂ් ඇසුවේ නොරිස්සුමෙනි. බරකාහ්ගේ මේ ක්රියාවලිය පිටුපස ඔහු නොදත් කුමක් නමුත් ලොකු දෙයක් සිදු වී ඇති වග අමාෂ්ට සැනින් වැටහුනත් තම නින්ද කැඩූ ඈ පිලිබඳ ඔහුට තිබුනේ අප්රමාණ කෝපයකි.
"දන්නවද බබා," බරකාහ් තාලෙට කීවත් නපුරුවන අමාෂ්ගේ බැල්ම මග හැරියාය. අමාෂ්ගේ හනු එකිනෙක තද වූයේ නිරායාසයෙනි.
"මෙයාල මට ඊයේ පාඩමක් ඉගැන්නුවා. අනිත් අයට භාදා කරලා විනෝද වෙන එකේ කික් එකක් තියෙනවා කියලා. ඇත්තමයි. මටත් කික් එකක් ලැබුනා."බරකා ඇහැක් ඉඟි මරා පසුව යුවතියන් දෙස බැළුවාය. අමාෂ්ගේ කන් පෙති විසාරනය වූවා සේ රත් වන්නට විනි.
'තව එක පාරක් ඔය වැඩේ කරනවකෝ!' අමාෂ් සිතින් මුමුණා ගත්තේ ඈ නොදැනුවත්වම ඔහුගේ සිතැඟි අවදි කරවන නිසාවෙනි. මේ කෙල්ල මෙසේ රඟද්දී වරෙක ඇයට පෙම් බැඳ දැන් වෙර බඳින්නට තතනන ඔහුට එසේ කිරීම අපහසු කාර්යයක් කරවන්නීය. තාවකාලික විවාහ ගිවිසුමකට මැය එකඟ කර ගැනීම තරම් අනුවණ තීරණයක් තම ජීවිතයේ තවත් නැතුවා විය යුතුය. මැගෙන් මෑත් වෙනු වෙනුවට ඔහු තව තවත් ඈ දෙසටම ඇදී යන්නේය.
"ඒත් මේ පාඩම් උගන්නන වෙලාවක් නෙමෙයි නේ ඒ.බී. අහල පහල මිනිස්සු පොලීසියට කෝල් කලා නම්?"
"අහ්! බයවෙන්න එපා අමාෂ්." අතක් වනමින් ඈ කීවාය. "තනියම ඉන්න මිසිස් පතිරන හැමදාම වගේ එයාගේ නිදි පෙති බොන්න ඇති. මිස්ට සිල්වයි එයාගේ නෝනයි එයාලගේ පුංචි ප්රයිවට් න'සරි එකත් අරං ට්රිප් එකක් ගිහින්." 
ඈ ඔහුට කිසිමාකාරයකින් මෙල්ල නොවූවාය. යුවතියන් තිදෙනා ඔවුන් ඔවුන් දෙස බලා ගත්තේ ඈ කෝප ගන්වන්නට ගත් උත්සාහයෙන් ඔවුන් පරාද වූ වග දැනීය. බරකාහ් කෝප වන්නට නොදත්තාය. ප්රතිවාදියාට ඈ සියුම් ලෙසින් පහර එල්ල කළේ ඔවුන්ගේම ක්රමයටය.
"අයියෝ! ඔයාලා ඇවිත් මට ඩිස්ට'බ් කලා නේ...කෝ මට අර ගොං සින්දුව අහන්න ඉඩ දෙන්නකෝ." සීඩී තැටි යන්ත්රය වෙතට හැරෙමින් ඈ කීවාය.
"මෙහෙ නෙමෙයි! මේ ගෙදර තව මිනිස්සු ඉන්නවා. ඔයාගේ විකාර ඉවරනම් කාමරේට යන්න!" අමාෂ් සැර වූවේය. බරකාහ් දෑත් පපුව මත පටලාගෙන ඔහු දෙස එක එල්ලේ බැලුවේ අභියෝගාත්මකවය.
"ඇත්තට? ෂ! මරුනේ. මං හිතුවේ මමයි, කාමුයි, මාලික් අයියයි විතරයි කියාඅ. තව අය ඉන්නවනං කමක් නෑ. හොඳට ගිහින් පොරෝගෙන නිදා ගන්න...හැව් අ ගූඩ් මෝනිංස් ස්ලීප්!" රැස්ව උන් කාගේත් නෙත් මග හරිමින් මොහොතකට පෙර ඇසුණු කිසිම තාලයක්, හරයක් නැති වියරු සින්දුව හීන් හඬින් ගයමින් තරප්පු පෙළ නැග ගියාය.
ඇගේ නික්මීමත් සමගම මුළු සාලයම මීයට පිම්බාක් සේ නිහඬ විනි. කිසිවෙක් කිසිවක් කීවේ නැත. යෞවනියන් තිදෙනා තුෂ්නිම්භූත වෙලා සේ එකි නෙකා ද්ස බලා උන්හ. අනීකා සෝෆාව මතට වැටුනේ නොදිනන පොරයකට හසු වී හෙම්බත් වී ගියාක් සේය. ඈ අනුගමනය කළ අනෙක් දෙසොයුරියන්ද ඈ පසෙකින් වාඩි ගත්හ. අමාෂ්ගේ නෙත ගැටුනේ සිනහවක් හංගාගන්නට වෙර දරන කාමු දෙසය. ඈ උන්නේ හරියට 'හොඳ වැඩේ' යන සිතුවිල්ලකින් වග අමාෂ්ට විශ්වාසය. කොහොමත් කම් රුන් වසර ගානක් හදා වැඩූ මේ දැරියනට වඩා අළුත ආ බරකාහ් හා කුළුපගය. ඒ බරකාහ්ගේ ගේ ඇති අව්යාජ බවත්, සරල බව නිසාත් විය යුතුයැයි ඔහු ඈ ඇසිල්ලට සිතුවේය.
"කෝපි එකක් ගේන්නද ඇම්බෝ?" අමාෂ්ගේ චෝදනාත්මක බැල්මෙන් මිදෙන්නට කියා ඈ ඇසුවාය. අමාෂ් කිසිත් නොකියා හිස වැනීය.
"අපිටත් ඕනෙ කාමු, කිරි කෝපි." සමීයා කීවාය. අමාෂ්ගේ බැල්ම නතර වූයේ ඔවුන් දෙසය. ඔවුනට හොරෙන් ඔවුන් දෙස ඔහු අධ්යනය කරන්නට වූවේය. අමාෂ් ඔවුන් දෙස බලන වග ඔවුනට හැඟුනේ නැත. කොතෙක් වෙලා ඔවුන් දෙස එයාකාරයෙන් බලා උන්නා දැයි ඔහුට නිච්චියක් වූයේ නැත. ඔහු යළි පියවි සිහිය ලැබුවේ බාලම සොයුරියගේ මුවග ලස්සනම සිනහවක් ඇඳෙනු දුටු කලය. හරියට ඔහු හා හිනැහෙන්නට ඇය බොහෝ කල් බලා උන්නා සේය. ඒ සිනහව අභියස ඔහු අතරමං වූවේය. ඒ අහිංසක හිනාව හරියට අම්මාගේම වාගේය. හද වේදනාවෙන් පෙගෙන්නට විනි. අමාෂ් අම්මාව දැක්කේ අවුරුදු ගාණකට පෙරය. ඒහා සැනින් තමා වරදකරුවෙකු වග සිත දොස් නගන්නට විය. සමීයාගේ සිනහවට පිලිතුරු සිනහවක් දීගත නොහී අමාෂ් විසල් කවුළුව වෙතට ඇවිද ගියේය. රත්රන් පාට ජනෙල් තිර රෙදි මෑත් කළ ඔහුට පෙනුනේ ඝණ මීදුමින් වැසීගිය තවමත් අන්දකාරයේ පැවති පරිසරය.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 27, 2018 ⏰

Add this story to your Library to get notified about new parts!

ආදරේ විතරමයි- Nothing but LoveWhere stories live. Discover now