8

427 97 71
                                    

-"මං ස්ට්‍රේට් කියල මං හිතාගෙන හිටියෙ කලින්. ඇත්තම කිව්වොත් මට මෙච්චර කාලෙකට හැඟීම් ඇති වෙලා තිබුණෙ ගෑනු ළමයි ගැන විතරයි."

යුන්ගි කතාව ඇරඹූ අතර ජිමින් නිහඬවම අහගෙන හිටියා.

-"ඒ වුණත් මං හිතන්නෙ මට ඔයා ගැන හැඟීමක් තියෙනවා ජිමින්."

වචන ගළපගන්න බැරුව ළතැවුණු අඩ හෝරාවකට පස්සෙ යුන්ගි ජිමින් ඉදිරියේ වදන් දිගහැරියා.

-"ඔයා ගැන මතක් වෙන හැම වෙලාවකම මට හිතෙනවා ඔයා මගෙ ළඟින් හිටියනම් කියල. ඒ වෙලාවට මට ඕනි වෙනවා ඔයාගෙ අත මගෙ අත එක්ක පටළගන්න. ඒක හරි අමුතුයි ජිමින්. මට කියන්න තේරෙන්නෙ නෑ."

යුන්ගිගෙ මුහුණ බිමට බර වෙලා තිබුණා. යුන්ගි බය වුණා ජිමින්ගෙ ඇස් දිහා බලාගෙන කිව්වොත් තමන්ගෙ වචන හිරවෙයි කියල.

යුන්ගිගෙ වචනවලින් ජිමින් පුදුම වෙන්න ඇති. ඒ බව නළලට ගිහින් තිබුණු ඔහුගෙ ඇස්වලින් පෙනුණා.

-"මොනවද මේ කියන්නෙ? එතකොට එල්සා?"

-"ඒ ගැන මං ඔයාට පස්සෙ වෙලාවක පැහැදිලි කරන්නම්. දැනට මතක තියාගන්න එයා කිසිම දවසක අපේ කතාවෙ චරිතයක් වුණේ නෑ  කියල."

ජිමින් නිහඬයි. මුවින් ගොළු වුණත්, හිතින් යුද්ධයක්. කලබලෙන් පාරෙ දිව්ව වාහන සද්ද විතරක් දෙන්නගෙ ම කන්වල ඉතුරු වුණා.

ජිමින්ට වගේම යුන්ගිටත් මතක් වුණේ මීට කලින් වතාවකදි කරපු ගණුදෙනුවක් වෙලාවෙදි දෙන්න අතරෙ තිබුණු දැඩි නිහඬතාවය.

-"මට සමාවෙන්න ජිමින්."

යුන්ගි උත්සාහ කළේ එතන තිබුණු භයානක නිහඬතාවයට තිත තියන්න. නමුත් එකපාරටම යුන්ගිගෙ සමාව ඉල්ලීමෙන් පුදුමයට පත් වුණු ජිමින් යුන්ගි දිහා බැලුවා. ඒකෙන් වුණේ දෙන්නගෙ ඇස් එකට මුණ ගැහුණු එක.

ආයෙමත් නිහඬතාවක්!

වෙනසකට තිබුණෙ ඒක කලින් තරම් භයානක නොවුණු එක.

කෙනෙක් ඔවුන් දිහා බැලුවොත් 'කතා නොකර මුහුණට මුහුණට බලාගෙන ඉන්න කොල්ලො දෙන්නෙක්ව' දකීවි.

ඒත් තවත් ටික වෙලාවක් බලාගෙන හිටියොත්, ඔයාට පුළුවන් වේවි දකින්න, 'උණුසුම් හැඟීම් පිරුණු ඔවුන්ගේ ඇස්'.

ඒ නිහඬතාවය අතරතුරේදි යුන්ගි තේරුම් ගත්ත වැදගත් දෙයක් නම්, තවමත් ජිමින්ගෙ හිතේ තමන්ට ඉඩක් තියෙනවා කියන දේ.

ඒ හැඟීම යුන්ගිගෙ ඇල්මැරුණු බලාපොරොත්තු නැවත ප්‍රබෝධමත් කළා.

-"කලින් වතාවෙදි ඔයාව මගහැරියට මට සමාවෙන්න ජිමින්."

ජිමින් උත්තර දුන්නෙ නෑ. ඒ වෙනුවට නිහඬව ම හිස සැලුවා විතරයි.

-"ඉතින්? අපිට බැරිවෙයිද මුල ඉඳලා පටන් ගන්න."

යුන්ගි ඇහුවෙ දැනෙන නොදැනෙන ගානට තමන්ගෙ අතක් ජිමින්ගෙ අතකට ළං කරන ගමන්.

-"උත්සාහ කළොත් බැරි වෙන එකක් නෑ."

ජිමින්ගෙ බැල්ම වළාකුළු පිරුණු අහසට යොමු වුණා.

ජිමින්ගෙ වචනවල තැවරිලා තිබුණු අමනාපය යුන්ගි හඳුනා ගත්තා.

-"ඔයා මං එක්ක අමනාපෙකින්ද ජිමින්."

යුන්ගි ඇහුවෙ ටිකක් බයවෙලා වගේ.

-"ආදරය කරන කෙනෙක් මගහරිද්දි දැනෙන හැඟීම කොයි වගේද කියල මං මේ ඔයාට පෙන්නන්න හදනවා."

-"දෙවියනේ ජිමින්, මං බය වුණා වෙන මොකක් හරි ප්‍රශ්නයක්ද කියල."

යුන්ගි පපුවට අතක් තියාගෙන සැහැල්ලු හුස්මක් ගත්තා. ජිමින් හිනාවෙන්න ගත්තා. හිනාව වැඩිකමට ඉඳගෙන හිටිය බංකුවෙනුත් වැටෙන්න යද්දි එතෙක් වෙලා ජිමින්ගෙ අතේ ගෑවි නොගෑවී තිබුණු යුන්ගිගෙ අත ජිමින්ගෙ අතේ තදින් පැටලුණා.

-"ජිමින්!"

යුන්ගිගෙ බැරෑරුම් ස්වරය ජිමින්ගෙ බැල්ම යුන්ගි වෙත රැඳෙව්වා.

-"ඔයාට තේරෙනව ඇතිනෙ. ඉස්සරහට අපිට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වේවි."

-"හ්ම්."

ජිමින්ගෙ හඬ වෙහෙසකාරී වුණා.

-"ඔයාට දරාගන්න අමාරු වේවි! ඔයා තවම පුංචි මල් පොහොට්ටුවක්."

-"නෑ...මට ඔයා ඉන්නවා. ඔයා මගෙ හඳ වෙලා මට පිපෙන්න උදව් කරන්න."

ජිමින්ගෙ අත යුන්ගිගෙ අතැගිලි අතර තවත් තද වුණා. අනාගතය ගැන ඕනිවට වඩා හිතන්න හොඳ නැති වුණත් දෙන්නම හිත්වලින් හීන මාලිගා හැදුවා.

තවත් මොහොතකට පස්සෙ යුන්ගිගෙ සහ ජිමින්ගෙ දෙතොල් එකට පැටලුණා. ඔවුන්ගේ හාදුව අවසානය තෙක් තරු පිරිවරා ගත් සඳ ඔවුන්ට තනි රැක්කා.

- The End -

30-05-2022

GeeSh_ ☔

Moon Flower | YoonMin | ✅Tempat cerita menjadi hidup. Temukan sekarang