•පළමු මිනිසා•

432 71 17
                                    

ඔරලෝසු කටු වේගයෙන් දශයක් පසු කර ගිය තැනක මා පාසලේ අසුන්ගෙන ඉමි.

වේලාව නිනව්වුක් නැත.
පරිසරය අඳුරුය.

පාසලෙන් පසු අපට අමතර පන්තියකි.

මා ඉදිරියෙන් මිතුරන් අතර හිඳගෙන උන් ඔහු , අඟුරුවන්ය.

සුදකට කියා පෙනෙන්නට වූයේ ඇසුත් , හිනාවෙනවිට පෙනුන දතුත් පමණක්‍ ය.
ඒ දතුත් බොල්ලෑය.

ඇසින්,මුහුණෙන්,අතින් පමණක් නොව
පයින්ද ගසමින් ඔහු කියන්නට තනන්නේ මොනවාදැයි මට වැටහීමක්ද නැත.
මට වටහා ගන්නට ඕනෑකමක් තිබුනේද නැත.

___________________

ඔහු මා ප්‍රිය කරන දේවල් 'අ' යන්නේ සිට හෝඩිය ඉවර වෙනතුරුම දන්නා බව මට තේරුනේ මගේ මිතුරිය කියනා විටදීය.

ඔහුගේ නමවත් හරිහැටි නොදන්නා මගේ, පේළි කිහිපයක් දිග වාසගම සහිත නම පවා ඔහුට කටපාඩම්ය.

'ඔයාට මන් ආදරෙයි' කියා
ඔහු පැන්සලකින් ලියූ කොළ කැබැල්ල දෙස බලා
එය ආපසු ඔහුටම දීමේදී මගේ අත් මඳක් වෙවුලනවා මට මතකය.

මගේම උපන්දිනය ළඟඳී යෙදෙන බව
මටත් කලින් මතක් වී ඇත්තේ ඔහුටය.
ඒ වෙනුවෙන් කියා
අලුතෙන් ගත් පොත් මල්ලක්ම ඔසවාගෙන ඔහුගේ මිතුරා මා අසලට පැමිණි විටෙක, දන්නා ලුණු ගම්මිරිස් එකට අනා බැනීමට තරම් මා දරුණුය.

පසු කාලයක ඔහු ආසාවෙන් මාහට ගෙනා
වීදුරු බෝනික්කෙක් සිටි අලංකාර සැරසිල්ල
කැබලී වී යනතෙක්ම වැරෙන් බිම ගැසුවේ මමමය.

මම නපුරුය.
එහෙත් මට ඔහුගේ හැඟීම් ඔහුට ආසා කරන ලෙස
ඔහුට දිය නොහැකිනම්,
ඔහු මා වට භ්‍රමණය වීමේ අරුතක් නැති බව,
වචනයෙන් තේරුම් නොගන්නා තැන ක්‍රියාවෙන් හෝ හිස තුළට රිංගවිය යුතු බව
මා එදා සිතාගෙන සිටියා විය හැකිය.

ඔව්, 'විය හැකිය'..
මට මාව අවිනිශ්චිතය.

____________________

සියගණනක් ප්‍රතික්ෂේප වීම් දරාගත් ඔහු
පසුකාලීනව මගෙන් මිදුණේ
පන්ති බෙදා වෙන් කල නිසා යැයි මට සිතුණි.

සමහරුන්ට ප්‍රේමය එහෙමය,
වහා අමතක කර දැමිය හැකිය.

එහෙත් කල්පනා කර බැලූ විට
එතැන ප්‍රේමයක් තිබුණේදැයි මට සැකය.

අවසන් වරට දකින විටද ඔහු අඟුරුවන්ය.
උසය.උසට සරිලන මහතය.

දෑස්?
මට ඔහුගේ දෑස් මතක නැත.

අවසාන වතාවෙත්
මා හා සිනාසුන ඔහුගේ දත් පමණක් සුදුය.
බොල්ලෑ බව අඩු ඒවා වල,
හරහට කම්බි කූරූ ඇද තිබුණා මතකය.

ᴛ ʜ ᴇ  1 1 ᵗʰ ᴍ ᴀ ɴ | ✔Where stories live. Discover now