•දෙවන මිනිසා•

277 67 6
                                    

කාල යන්ත්‍රය දිගටම ඉදිරියට යන්නට පටන් ගෙන ඇත.

මා තවම පාසලේය.
මඳක් වැඩී ඇත.මුහුණද පැහැපත් ය.

නමුදු මනස තවමත් ළදරු බව මතක් කළ යුතුමය.
___________

ඔහු පාසලට අලුත් ය.
කඩවසම්,කැරලි කෙස් ඇති,දැලි රැවුලක හිමිකාරයෙක්ය.

මුල් දිනවල ඔහුගෙන් වදනක් ඇසීම,
ඉබ්බෙක්ගෙන් පිහාටු ගැනීමක් වුවත්
පසුකලෙක ඒ ඉබ්බාට පිහාටු විශාල ප්‍රමාණයක් තිබෙන බව පෙනෙන්නට තිබුණි.

ඔහු කටකාරය.
කෙල්ලන්ව දැලේ ලා ගැනීමට දක්ශයෙක් ය.

මාද දැලේ වැටුණු බව, ටොක්කක් ඇන මම මටම මතක් කළේ දැන් ය.

_____________

ඔහු මගේ බොළඳම වූ ප්‍රථම ප්‍රේමයයි.

බොළඳ!

මම මටම සිනාසුණෙමි.
_______________

එක් වරක්
ඔහු මගේ අත ඇල්ලූ විට
මා අත ඉවතට ගත්තේ බරපතල වරදක් කර සිරේ යාමට සිදු වූවාක් මෙන් බියකිනි.

එය අප අත් මුණ ගැසුනු පළමු හා අවසන් වතාවයි.

සිතා බැලූ විට,
මම ඔහුට ළන් වීමට බිය වීමේ අමුත්තක් ඇත්තේ නැත.

මක්නිසාද,
මට පිරිමින් ගැන අල්පමාත්‍ර වූත් දැනුමක් තිබ්බේම නැත.

_____________

මෙවර ඔහු මගේ නම දැනසිටියත් නැතත්
මා ඔහුගේ සම්පූර්ණ නම දැන උන්නෙමි.

දැනුදු මට එය කටපාඩම්ය.

ඔහු පිළිබඳව අනෙක් මතකයන් බොඳ වූ නමුත්
ඔහු නිතරම මට වද දුන් බව මගේ මතකයේ ඇත.

මගේ පැන්සල් පර්සය නිතරම අදිමින්,එහි වූ දෑ සීසීකඩ දමමින්, මගේ ගෙතූ කොණ්ඩයේ වූ රිබන් පටිය ගලවමින් , මගේ පොත් වල අපේ නම් ලියමින් , ඔහුගේ හිස් වූ සටහන් සම්පුර්ණ කිරීමට කියමින්
ඔහු මට වද දුන්නා මතකය.

ඔහු වදයක් ය.
නමුත් සුන්දර සිනහ යන සුළු මතකයක් ය.

________________

ඔහුව වසරකට පමණ පසු අවසන් වරට දුටු දවසක
ඔහු සිටියේ වෙන කෙල්ලෙකු හා පෙම් සුව විඳිමින් වූ නමුත්
මා හට කිසිවක් දැනුනේ නැත.

දැනුනා නම් යමක්, ඒ පුදුමය පමණක් ය.

කලෙක මා අසලම දැවටෙමින් සිටි ඔහුම
මා දෙස බලමින් වෙන අයෙකු හා මුකුළු පෑමට තරම්
ඔහුට හැකි වූයේ කෙලෙසකදැයි යන සිතවිල්ලක පමණක් මා සිටියා මතකය.

එය ප්‍රේමයේ ප්‍රථම පාඩම බව
මට වැටහෙන්නේ දැන්‍ ය.
______________

ඔහු පාසල මාරු කර ඉවත් වූ පසු සියල්ලන්ටම ඔහුව අමතකව ගිය අයුරු මා දුටුවෙමි.

නමුත් මගේ පරණම දිනපොතක
පිටු අතර ඇති
ඔහු දුන් කාඩ්පතක තිබී මා කපා ඉවත් කරගත් රෝස මලක් මෙන්
ඔහු මගේ මතක පොතේ රැඳී තිබෙනු ඇත.

නමුත් ඔහු,

රෝස මලකට වඩා

එහි නටුවේ ඇති කට්ටක්‍ ය.

ᴛ ʜ ᴇ  1 1 ᵗʰ ᴍ ᴀ ɴ | ✔Unde poveștirile trăiesc. Descoperă acum