03. කොටස

133 25 0
                                    

හවස 7.30 ට විතර මං හිටියෙ තේමිය අරන් ආව ඉදි ආප්ප මුල කන්න දිගෑරගන්න ගමන්. තේමිය මගෙ හෝදන්න තියෙන රෙදි පිලි ටික එකතු කරගන්න ගමන් හිටියෙ. දැන් ටිකකට කලින් තේමිය මට වොශ් දාන්න උදව් කලා. ඊටපස්සෙ මං අම්මා හෝදලා එවපු පිජාමා ඇදුම ඇගට දාගත්තා.

අම්මා..? ම්ම්....තේමියගෙ අම්මට එහෙම කතා කලාට මට පව් පිරෙන්නෑ. එයාත් කට පුරා මට පුතා කියල කතා කරද්දි ඇයි මට එයාට අම්මා කියන ගරුත්වයවත් දෙන්න බැරි. එයා මට සලකන්නෙත් තේමියට වගේමයි. අනාත නිවාසෙන් අයින් වෙලා කැම්පස් යන්න ගත්තත් හරි ඉන්ඩ හිටින්ඩ තැනේ ඉදන් කෑම ටික පවා මට හදල දෙන්නෙ තේමියගෙ අම්මා.

අදත් අම්මා මට හදල එවල තිබුන සුවද ගහන ඉදි ආප්ප මුල කන්න පටන් නොගෙන මං  බලන් හිටියෙ තේමියත් මාත් එක්ක එකතු වෙනකල්.

"මොකද දැන් ඕක දිහා බලන් භාවනා කරනව ද ?"

තේමිය අහද්දි මං ඌට රැව්වෙ හරියට නොදන්නව වගේ අහන හින්දා. මං සාමාන්‍යයෙන් තනියම කෑම කන්න අකමැතියි. ළමා නිවාසෙ ඉන්න කාලෙත් දිගම දිග පොදු කෑම මේසෙක මං වගේම තවත් ළමයි එක්ක එකටයි මං කෑම කෑවෙ. තේමියලගෙ ගෙදරට ගියාට පස්සෙ තේමියගෙ අම්මයි තේමියයි එක්ක. එක්සෑම් වලට පාඩම් කරද්දි නම් අම්මා අපි දෙන්නටම රසට අනල කවනව. අම්මා තේමියගෙ අප්පච්චිගෙ පෙන්ශන් එකෙන් හම්බෙන පොඩි සොච්ච්මෙන් සකසුරුවමට බඩු ගෙනැවිත් උයන ව්‍යංජනය දෙක උනත් දිව්‍යලෝක රහයි. ඒත් දැන් නම් මට බේත් සැරටම රස දැනෙන්නෑ. මට කෑම එකේ ලස්සනයි සුවදයි විතරක් තවම විදින්න පුලුවන්.

"උබ දන්නවනෙ මං තනියම කෑම කන්න අකමැතියි කියල."

"අනේ මේ උබ කන්නෙත් කුරුලු පැටිය වගේ පොඩ්ඩයි. මාත් ඇවිත් ඔය ඉදි ආප්ප දහය ගිලින්න ගත්තම උබට කන්න දෙයක් ඉතුරු වෙනවද ... උබ කාපං මං ගෙදර ගිහින් කන්නම් අම්මා එක්ක.."

"අම්ම එක්කත් කාපන්.. මාත් එක්කත් කටක් දෙකක් කාපන්කො.."

"අනේ යකෝ උබෙන් තියෙන වදයක්"

"තව ටික දවසයිනෙ තේමිය.."

මං දැක්කා ඒ ටික ඇහෙද්දි තේමියගෙ මූන වෙනස් වෙනව. ඒත් ....පිලිගන්න අමාරු උනත් ඒක නේද තිත්ත ඇත්ත.

The Last Wish ! (Completed)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin