24

324 86 167
                                    

නෙතිඳු නිහඬය. නාදන් පැමිණි දිනයෙන් පසුව ඔහු වදනක් හෝ මුවින් පිට කළේ ඉතා කලාතුරකිනි. ඔහු සෙමෙන් දොර අසලට විත් එතැන බිමින් හිඳගෙන හිස උළුවස්සට තද කළේය.

එක්වරම ආ කැස්සක් හේතුවෙන් ඔහු පපුව අල්ලාගෙන බිමට නැඹුරු විය. තමාගේ දෙදණ මත හිස තබා ගත් නෙතිඳු පපුව ඇදුම් කන තුරුම කහින්නට විය. ඔහුගේ හිස පුපුරන්නට මෙන් තද වේදනාවක් දැනිණි.

මද වේලාවකට පසු ඔහු හිස ඔසවා බලද්දි ඔහුගේ දෑසම නිලංකාර වී තිබිණි. මද වේලාවක් තමාගේ පෙනීම පැහැදිළි වන තුරු මිදුල දෙස බලා සිටි ඔහු තමාගේ දෙපා දෙස බැලීය.

ඔහු තිගැස්සුණේ තමාගේ දෙපා මත වූ රුධිරය දැකීමෙනි. මද වේලාවක් ඒ රුධිරය කොහින්දැයි පැමිණියේ යන්න කල්පනා කළ ඔහුට එක් වරම තේරුම් ගියේ ඒ තමාගේ මුවින් පිට වූ රුධිරය බවයි.

මද වේලාවක් හිස් සිතුවිලි වලින් යුතුව රුධිරය දෙස බලා සිටි ඔහු ඉන් පසුව කල්පනා කරන්නට වූයේ පියාට‍ මේ පිළිබඳව කිව යුතුද නැතිද යන්න පිළිබඳවයි.

ඔහු තීරණය කළේ එය නොකියා ඉන්නටයි. මන්ද යත් මෙය දැනගත් විගස ඔහුව බෙහෙත් ශාලාවකට රැගෙන යාමට පියාට උවමනා වනු ඇත. නමුදු මේ යුධ බිය අතරේ තම පියාව අනතුරේ දැමීමට නෙතිඳුට උවමනා නොවීය.

ඔහු තමාගේ කමිසයෙන් ලේ පිස දමාගෙන අපහසුවෙන් වුවත් මුළුතැන්ගෙයට තනිව ඇවිද ගියේ මුව සෝදා ගැනීම සඳහාය.

නෙතිඳුට හිස එසවීමත් අපහසු වෙමින් තිබිණි. ඔහු හැකි තාක් උත්සාහා කළේ කොතැනට හෝ වී නොසෙල්වී සිටීමටයි.

එය තමාගේ උපැස් යුවළේ ගැටළුවක් වන්නට යැයි ඔහු සිතූ අවස්ථාද අනන්තය.

එය දෙදහස් දෙක වසරේ ආරම්භයයි. කොටි සංවිධානය හා ලංකා රජය සාම ගිවිසුමකට එලැඹ සිටි අතර ජනතාව සිටියේ දැඩි සතුටකිනි.

කෙසේ මුත් නෙතිඳුට නම් එයින් කිසිඳු සතුටක් ඇති නොවිණි. සාම ගිවිසුම හුදෙක් තුවාලයක් උඩින් තවරනා ආලේපනයක් මිස හරි හමන් බෙහෙතක් නොවන බව ඔහු අත්දැකීමෙන් දැන සිටියේය.

සාම ගිවිසුම් අතරේ හමුදා කඳවුරේ පුහුණුවීම් කටයුතු තවත් කාර්‍යබහුලව ඇති බව ඔහුට සිතා ගත හැකි විය.

මුලාව | The Lost [✅]Where stories live. Discover now