25

321 91 178
                                    

නෙතිඳු බලාපොරොත්තු වූ පරිදිම ඔහුට වෛද්‍යවරයා කියූ දේවල් තිබුණේ හොඳ තත්වයක නොවේ. වෛද්‍ය වාර්තාව අතක ගුලි කරගත් ඔහු සායනයෙන් පිට වූයේ පිටත සිට ගෙන සිටි නිසල් වෙත යාම සඳහාය.

දෑත් පපුව හරහා බැඳගෙන නොයිවසිලිමත් දෑසින් බලා සිටි නිසල් නෙතිඳුව දුටු විගස ඔහු අසලට පිය නැගීය. 'මොකද වුණේ?' 

නෙතිඳු හිස දෙපසට වැනීය. 'මුකුත් විශේෂ දෙයක් නෑ. නිකන් මහන්සිය නිසා.' 

නිසල් තමාගේ දෑතින්ම නෙතිඳුගේ දෙවුර තදින් අල්ලා ඔහුව නැවතීය. 'නෙතිඳු ඔයාට බොරු කියන්න බෑ කියලා ඔයා කවදා හරි දැනන් හිටියද?' 

නෙතිඳු ඉවත බලා ගත්තේය. 'කවුද බොරු කිව්වේ?' 

'ඔයා... ඔයා බොරු කියද්දි ඔයාගේ ඇස් කලබල වෙනවා. කන් දෙක ඉස්සෙනවා. මම ඒක අවුරුදු ගාණක් තිස්සේ දැකපු දෙයක්. ඔයාට මට බොරු කරන්න බැහැ. දොස්තර මොකද කිව්වේ?' 

නෙතිඳු නුරුස්නා ආකාරයෙන් නිසල්ගේ දෑත් තමාගේ සිරුරින් ගසා දැමීය. 'මට මුකුත් ප්‍රශ්නයක් නෑ... මහන්සියයි අතේ වේදනාවයි නිසා තමයි.' 

නිසල් නිහඬ විය. ඔහු තවත් ඒ සඳහා නෙතිඳුට බල කිරීමට පෙළඹුනේ නැත. 

'මොනවා හරි ප්‍රශ්නයක් නම් මට කියන්න හරිද? මම ඉන්නවා ඕනම වෙලාවක...' අවසානයේ ඔහු පැවසුවේ ඔහුට කීමට වෙන කිසිවක් නොවූ නිසාවෙනි. 

'හ්ම්ම්...' 

නිසල් සුසුමක් හෙලා තමාගේ බෑගය උරයේ එල්ලා ගෙන නෙතිඳුගේ අතකින් අල්ලා ගත්තේය. ඔවුන් දෙදෙනා සායනයෙන් පිටතට පැමිණියේ නැවත යාපනය බලා යාම සඳහා බස් රියක් සොයා ගැනීමටයි. 

යාපනයේ සිට කොළඹට පැමිණි ගමන ඉතාමත් වෙහෙසකර හා දිගු ගමනක් වූ අතර ගමන පුරාවටම වාගේ නෙතිඳු නිසල්ගේ උරයක් මත නින්දට වැටී සිටියේය. 

'කන්න මොනවා හරි ඕනද?' නිසල් විමසුවේ බස් නැවතුම් පොළට පිය නගනා අතරතුරය.

නෙතිඳු පිළිතුරක් දුන්නේ නැත. ඔහුගේ මුහුණේ පැහැදිළිව සටහන්ව තිබුණේ කුසගින්න හා වෙහෙසයි. නිසල් ඔවුන්ගේ ගමන් මග වෙනස් කොට අසල තිබූ සිල්ලර කඩයකට පිය නැගීය. 

මුලාව | The Lost [✅]Where stories live. Discover now