රවිශාන්ගේ මරණය නිසල්ට ගෙන දුන්නේ අමුතු ආකාරයක ශෝකයකි. රවිශාන් හා කිසිදාක යහපත් මිතුදමක් ඔහුට නොතිබුණද අවසන් වේලාවේ රවිශාන් මිය ගියේ තමා බේරා ගැනීමට ගොස් නොවේද යන්න ඔහුගේ සිතට වද දුන්නේය.
'ඔයා කෑවද?' නෙතිඳු ඇසුවේ තමා අත වූ පිඟාන පසෙකින් තබමිනි.
නිසල් හිස වැනීය. 'ටිකක් කෑවා. අනික් දෙන්නගේ තත්වේ කොහොමද දැන්?'
නෙතිඳු තමා එහා පස වූ ඇඳන් දෙක මත වූ තුවාලකරුවන් දෙස බැලුවේය. 'ඒ දෙන්නට ලොකු අවුලක් නෑ. එක්කෙනෙක්ගේ අතක් මගේ වගේ කැඩිලා. එයාට ටික කාලයක් අවි පුහුණුව වගේ ඒවලින් ඈත් වෙලා ඉන්න වෙයි.'
'ඔයාගේ අත දැන් හොඳයිද?' නිසල් ඇසුවේ නෙතිඳුගේ උරහිස දෙස බලමිනි.
නෙතිඳු ඇඳ සිටි කළු පැහැ කමිසයේ විශාල බව හේතුවෙන් එය ඔහුගේ උරයෙන් පහළට ලිස්සා ගොස් තිබිණි. ඔහු අතකින් තමාගේ කමිසය ඔසවා ගත්තේය.
'ලස්සනයි.' නිසල් සෙමෙන් මැතිරුවද එය නෙතිඳුගේ කන වැකිණි.
ඔහු රතු පැහැයට හැරුණු මුහුණින් නිසල් දෙස බැලීය. නිසල්ගේ දෙකොපුල්ද රතු පැහැයට හැරෙද්දී ඔහු අනෙක් පස බලා ගත්තේය.
'මම ඒක ඇහුණේ නෑ වගේ ඉන්නම්.' නෙතිඳු මැතිරුවේය.
නිසල් යන්තමින් සිනාසුණේය. 'ඒක හොඳයි.'
ඔවුන් දෙදෙනා නිහඬව සිටියේ කාමරයේ සිටි අනික් සෙබළුන් දෙදෙනාගේ අවධානය ඔවුන් වෙතට යොමු විය හැකි නිසාවෙනි.
'නිමලසේන සර් අද හවසට එනවා කිව්වා ඔයාව බලන්න.' මද වේලාවකට පසු නෙතිඳු කීවේ නිමලසේන උදෑසන එසේ කී බව මතක් වීමෙනි.
'ආහ්... මගේ මොනවා බලන්නද මන්දා. කමක් නෑ.' නිසල් කීවේය.
'මම යනවා අනික් අයගේ තුවාල බලන්න. ඔයා ඉන්න... දඟලන්න එපා. කකුල හොඳ වෙකන් ඉන්න වෙයි ටිකක්.'
නිසල් හිස වැනූ පසු නෙතිඳු එතැනින් නැගිට තුවාල ලබා සිටි අනෙක් සෙබළුන් දෙදෙනා වෙතට ගියේය.
හමුදා හෙද සේවයට පැමිණීමෙන් පසුව නෙතිඳුගේ රුධිරය පිටවන කැස්ස යන්තමින් අඩුව තිබිණි. ඔහුට පෙර මෙන් වේදනාවක් නොදැනුණු මුත් හිටි ගමන් නැවතත් අසනීප තත්ව මතුවිය.
YOU ARE READING
මුලාව | The Lost [✅]
General Fictionවසර තිහක් පමණ පැවතියා වූ ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරදී ඇතිවන බැඳීම හේතුවෙන් සිංහල තරුණයෙකු හා දමිළ තරුණයෙකු අනතුරට පත්වෙයි. එම පත්වන්නා වූ අනතුර කායික නොවූවද මානසිකව සහ නීත්‍යානුකූලව ඔවුනට වද දෙයි. ප්‍රේමයක් දක්වා දුර දිග නොගියද අතර සහෝදර බැඳීමකින්...