01. හැඳින්වීම

375 65 67
                                    

මේ කතාව ලියනවද නැද්ද කියලා අවුරුදු ගානක් පුරා කල්පනා කළා...

මේ මගේ ජීවිතේ ඇත්තටම සිද්ධ වුණ දෙයක්... මේ කතාව කවදාහරි එයා කියවයි... දැන්ම බැරි වුණත්... ඒ නිසා ගොඩක් හිතලා හරි පරිස්සමින් අකුරු කරන්න ඕනෙ කතාවක්....

කවදාවත් ලබන්න බෑ කියලා, විද්‍යාත්මක සාධකවලින් ඔප්පු කරපු දෙයක් නොහිතපු වෙලාවක මාව හොයාගෙන ආවා... ඒ මාතෘත්වය

ඒක හරි පුදුමයක්... ඒත් ඒ ආපු වෙලාව මම, අපි කිසිම විදියකින් ඒකට සූදානම් වෙලා හිටියෙ නැති වෙලාවක්.

දෙමව්පියන් සහ සමාජය කියන විදියට අකුරටම "හොඳ ළමයෙක්" වෙලා හිටිය මම හැමදේම ලෝකයා පිළිගත් රාමුව තුළ හරියටම කරපු කෙනෙක්.

ඒත් මේ කාරණාවෙදි... ඒක එහෙම වුණේ නෑ... අවුරුදු හයක් මහන්සි වෙලා, ගන්න උපාධිය , ඉන් පස්සේ තව අවුරුද්දක් එක දිගට නිවාඩු නොගෙන වැඩ කළ යුතු සීමාවාසිකය... හැමෝම දරු සුරතල් බලන්න පෙරුම් පුරන්නේ සීමාවාසික කාලය අවසන් කරලා. මගේ කතාව වෙනස් වෙන්නේ එතනින්....

ඉතින් හිමින් ලියන්න හිතුවා, මේක පම්පෝරියක් නෙවෙයි, කවුරු හරි මේක කියවලා ඒකෙන් පන්නරයක් ලබා ගන්නවා නම් මට ඒ ඇති.

නොහිතපු වෙලාවක ළඟට ආපු සුරංගනාවියක්....

නෙරා එන කුස නිසා පූර්ව ප්‍රසව විෂාදයෙන් පීඩා වින්ද මවක්,

මව්කිරි කියන මූලික අයිතිවාසිකම අමු අමුවේ නැති කරපු මවක්,

එඩින්බරෝ පසු ප්‍රසව විශාද පරිමාණය අනුව තමන්ගේ තත්ත්වය දැන දැනත් සායනයට එය නොපෙන්වා ආපු මවක්,

තමන්ගේ මාස නවයක් වයස දරුවාගේ මූණ නොදැක එක දිගට සති තුනක් රාජකාරි ස්තානයේ රැය පහන් කළ මවක්...

ඔව් මේ ඔක්කොම මම...

ඉතින් එනවද මාත් එක්ක ඇවිද යන්න ඒ මතක මාවතේ....

A/n - මේ 2015 අවුරුද්දේ ඉඳලා 2018 වගේ වෙනකල් මගේ ජීවිත කතාව...
හිමින් ලියන කතාවක්... මම තමයි හොඳටම කළේ කියලා පෙන්වන්න නොලියන බවත්, ජීවිතේ අපිට ඕනෙ විදියටම සිදු නොවන සිදුවීම් එක්ක අපි ජීවිතේ අත නොහැරිය යුතු බවත්, අද කන කට්ට හෙට අපිට ශක්තියක් දෙන බවත් කියවන ඔයාලට කියන්නයි මේක ලියලා තියන්න හිතුවේ....😌😌😌😌

සීමාවාසික අම්මා [COMPLETED]Where stories live. Discover now