02. අනපේක්ෂිත

278 53 61
                                    

"ඩිම්බ කෝෂවල බුබුළු තියෙනවා , ඒ නිසයි මේ රෝග ලක්ෂණ." එහෙම කිව්වේ මගේ රෝග පරීක්ෂාවක් කරපු වෛද්‍යවරයෙක්. ඒ මම උසස් පෙළ දෙවන වර කරන කාලෙ. ඒ කාලෙ අන්තර්ජාල පහසුකම් එහෙම නෑනෙ ඕවා හොයලා බලන්න. ලොකු ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා තමා හිතාගත්තෙ ඉතින්.

පෙති බොන්න කිව්වා, බොන කාලෙට ප්‍රශ්න අඩුයි, නැවැත්තුවොත් ආයි ප්‍රශ්න....
ඉගෙනීම එක්ක ඒ ගැන වැඩිය හිතුවේ නෑ.

කාලය ගෙවිලා ගියා, විභාග සමත් වුණා, කැම්පස් ගියා, බඳින්න කෙනෙක් ලැබුණා, විවාහය ලියා පදිංචි කළා... හැමදේම සම්මත ක්‍රමයට සිද්ධ වුණා. බැන්දත් උපාධිය ඉවර වෙනකල් ළමයි හදන්න අපේ ප්ලෑන් එකක් තිබ්බේ නෑ.

ඒ වෙනකොට අර බුබුළු කතාව විද්‍යාත්මකව බැලුවොත් හොඳටම තේරෙන තරමට මම මෝරලා.
ඒකට කියන්නේ poly cystic ovarian syndrome කියලා. මදසරු බව/ දරු ඵල නැති වීම ඒකේ ප්‍රතිඵලයක් වෙන්න පුලුවන්. හැබැයි ඒ තත්ත්වය එක්ක එන සියලු බාහිරින් පේන වෙනස්කම් මට තිබුණෙ නෑ. හැබැයි ඔය රෝග විනිශ්චය හරියට හිතට වද දුන්නා.
බැන්දත් ඉතින් ඉස්සරහට මොනවා වෙයිද??

කොහොම වුණත්, ඇඟේ තියෙන හිතුමතේ නිකුත් වන හෝමෝන මෙල්ල කරන්න මම බෙහෙත් පටන් ගත්තා. කලින්ම මේ හෝමෝනවල පාලනය මගේ අතට ගන්නයි මම හිතුවේ.

2009 ඔක්තෝබර් මාසෙ තමයි මම ෆැකල්ටි යන්නෙ. මම උසස් පෙළ ලීව දිස්ත්‍රික්කයේ මට මතක විදියට 63ක් හෝ 66ක් වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබුවා. එයින් දිස්ත්‍රික් කුසලතාවය 36 වෙනියගෙ ඉඳලා 63/66 තෙක් සියලු දෙනාම තේරුනේ රජරට වෛද්‍ය පීඨයට. දන්නවද මම ඒ 36 වෙනියා. මට කලින් රෑන්ක් එක ජ'පුර. රාගම , කරාපිටිය දෙකෙන් එකකටවත් නොදා, 36 සිට ඉතුරු සියල්ල රජරට.

තෝරාගැනීම දැනුම් දෙන ලියුම අතට ගත්ත වෙලාවෙ මම කඩන් වැටුනෙ නෑ කිව්වොත් ඒක පට්ටපල් බොරුවක්.

2009 දි එහෙම හිතුනට, 2015 දි මම රජරටින් පිට වෙද්දි, " මේ මට ජීවිතේ ලැබුණ හොඳම වෙස්වලාගත් ආශිර්වාදය" කියන එක මම හොඳටම තේරුම් අරන් තිබුණේ. මම රජරටින් ඉගෙන ගත්තෙ වෛද්‍ය විද්‍යාව විතරක් නෙවෙයි. මම ඉගෙන ගත්තෙ ජීවිතය. උපන් දා සිට ගෙදර සහ පාසල කියන රාමුව ඇතුලේ පමණක් ජිවිතේ දැක්ක මම ඇත්ත ජීවිතේ දැක්කෙ රජරටින්.

සීමාවාසික අම්මා [COMPLETED]Where stories live. Discover now