06. දුවෙක්

175 40 32
                                    

ඉතින් අපි යොදා ගත් දිනයට Anomaly scan එකට ගියා. එදා නම් පුදුම බයකින් මම හිටියේ. ඉගෙන ගත්ත විදියට හොඳට ප්ලෑන් කරලා, බෙහෙත් බීලා චූටියෙක් ගේන්න හිටියට එයා කලින්ම එන්න හිතුවනේ.

මොනවා හරි අඩුවක් තියෙයිද? එහෙම වුණොත් ඒක සම්පූර්ණයෙන් මගේ වැරැද්ද. මට ඒක දරා ගන්න පුලුවන් වෙයිද.

ඔන්න ඉතින් බයෙන් බයෙන් ස්කෑන් එකට මූණ දුන්නා. සර් එක එක කොටස් මැනලා දිග පළල, අඩු පාඩු නැති බව කියනවා.

"දුවෙක් ඉන්නේ දරුවෝ"
මට හිතා ගන්න බැරි වුණා. මොකද අපි බලාපොරොත්තු වුණේ පුතෙක්. ඒ දවස්වල මගේ මෝඩ විශ්වාසයක් තිබුණා දුවෙක් වුණොත් එයාට ගොඩක් දුක් විඳින්න වෙයි කියලා. ඒ නිසයි මම දුවෙක් එපා කියලා හිතුවේ.

මම ඒක ඉවර වුණ වෙලාවෙම අම්මට
කෝල් කළා. "දුවෙක් ලු ඉන්නේ"
"ඉතින් හොඳයි නේ, පාට පාට ගවුම් අන්දලා ලස්සන බලන්න පුලුවන් අපිට" අම්මා ඒ වෙලාවේ කොයිතරම් ධනාත්මක දෙයක් ද කිව්වේ. ඇත්තටම එහෙම කියපු එක ගැන මට සතුටු හිතුනා. ඒ වගේම දැනටත් අම්මා එයාට විවිධ මෝස්තර වලින් ගවුම් මහනවා. එයත් අත්තම්මා මහන ඇඳුම්වලට හරිම ආසයි.

මේ කියන ඇමතුම මම ගත්ත තැන මට පසුකාලීනව ජීවිතේ පුදුමාකාර ලෙස විශේෂ තැනක් වෙනවා. පතොක් කතා සහ සීමාවාසික අම්මා සමපාත වෙන්නෙ අන්න ඒ තැනදි.

ඉතින් මම හිත හදා ගත්තා. කොහොමත් මේ වෙනකොට මට හොඳටම අවබෝධ වෙලා තියෙන්නේ මම වගේ ටිකක් වෙනස් අම්මෙකට ගැලපෙන්නේ දුවෙක්ම තමයි කියලා. දැන් මගේම ශරීරයේ කොටසක් වගේ එයා.

මම එයාට කියලත් තියෙනවා අපි මුලින් බලාපොරොත්තු වුණේ පුතෙක්, ඒත් හොඳ වෙලාවට ඔයා දුවෙක් වුණේ කියලා. මම කොහොමත් එයාට නිතරම කියන වචන කීපයක් තමයි " Thanx for being my daughter" කියන එක. එයා දැන්නම් හොඳටම දන්නවා මම එයා ලැබීම ගැන කොයිතරම් තෘප්තිමත් ද කියලා.

ඔන්න ඉතින් එදා ඉඳලා අපි එයාට චූටි දූ කියලා කතා කළේ. මම රෑට එයාට පොත් කියෙව්වා. සිංදු කිව්වා. අන්තිමට Good night කියලා තමයි නිදා ගත්තේ.

දවස් ගත වෙද්දි, බර වැඩි වෙද්දි, හුස්ම ගන්න අමාරු වෙද්දි, මට තරහා යන ප්‍රමාණය වැඩි වුණා. හැමදේකම වැරැද්දක් විතරයි මට පෙණුනේ. මම හරියට රණ්ඩු වුණා, හරිම සරල දේවල්වලට. Pregnancy එකේදි මේ විපර්යාස වෙන බව දැන දැනත් මට ඒවා දරාගන්න අමාරු වුණා.

සීමාවාසික අම්මා [COMPLETED]Where stories live. Discover now