සති 38 වෙද්දි හැමදෙයක්ම සූදානම්, ඔව් එයාව දකින්න, එයාව පිළිගන්න හැමදෙයක්ම සූදානම්. ඒ අතරෙ එහෙන් මෙහෙන් එක එක ආරංචි , අහවල් දවසේ ඉන්ටර්න් පටන් ගන්නවලු....
ඒ වෙනකොට මම හිතන්නේ තිබුණ අර්බුදවල හැටියට මගේ මොළයටත්
කොයි ප්‍රශ්නය ගැනද වැඩිපුර හිතන්නේ කියලා හිතාගන්න බැරුව හිටියේ.VOG සර් ඇඩ්මිට් වෙන්න දවසක් නියම කළා. ඊට පස්සේ දවසේ තමයි සීසර් කරන්නේ. ඒ වෙනකොට යශෝධා අක්කා, මගේ සීසර් එක වෙලාවට තියටර් එකට එනවා කියලා කලින්ම කියලා තිබුණේ. ඉතින් එයාගේ බබාටත් ඒ වෙනකොට මාස 6ක් වගේ. එහෙම තියෙද්දිත් මං වෙනුවෙන් එයා එන්න පොරොන්දු වුණා.
ඒ 2015 නොවැම්බර් 05. ඇඩ්මිෂන් එක දාගෙන අපි ගියා වෝඩ් එකට. Antenatal HO හිටියේ අපේ සීනියර් බැච් එකේ අක්කා කෙනෙක්. නියමිත විදියට ඒ හැමදේම කරගන්න හැමෝම උදව් වුණා.
නොවැම්බර් 06, සිකුරාදා දවසක්, ඉතින් උදේම අවදි වුණා, පාන්දර දෙකේ ඉඳලා නිරාහාරව හිටියේ. උදේ අට වෙනකොට සුදු ඇඳලා , කැනියුලා දාලා, ට්‍රොලියකට දාපු මාව අරන් ගියා ශල්‍යාගාරයට.
හස්බන්ඩ් ඒ රෝහලේම වැඩ කළ නිසා එයත් ඇතුලට ආවා. යශෝධා අක්කත් ඒ වෙනකොට ඇවිත් මගේ ළඟින්ම හිටියා. කලින් සැලසුම් කළ සීසර් සැත්කම් කරන්නේ කොන්දෙන් හිරි වට්ටලා.
ඔන්න ඉතින් මාව ශල්‍යකර්මය කරන ඇඳට දාලා, වාඩි කරවලා කොන්දට කට්ට ගහන්න නිර්වින්දන කණ්ඩායම සූදානම් වෙනවා.
"කෝ මෙයාගේ තාත්තා... එන්න ළඟට..." ලොකු නිර්වින්දන මැඩම් කියනවා ඇහුනා. එයා පැත්තකට වෙලා, හැංගිලා වගේ ඉන්නවා. පස්සේ මැඩම් කිව්ව නිසා ළඟට ආවා... දැන් ඇහුවම නම් කියන්නේ එයා "ඒ වෙලාවේ හොඳටම stress වෙලා හිටියේ" කියලා. ඇත්ත වෙන්න ඇති. අපි කොච්චර අපේ රෝගීන්ගෙ ශල්‍යකර්ම කළත්, අපේ කෙනෙක් ඒ ශල්‍ය ඇඳ මත වාඩි කරලා , කොන්දට කටු ඇනලා හිරි වට්ටද්දි අපිට ඒක ස්ට්‍රෙස්. මම හිතන්නෙ හස්බන්ඩ්ට වුණෙත් ඒක.
මම ඊට කලින් ජීවිතේට මේ වගේ ලොකු ශල්‍යකර්මයකට මුහුණ දීලා තිබ්බේ නෑ. ඉතින් මේක ඇත්තටම භයානක අත්දැකීමක්. මේවා කොච්චර දැකලා තිබුණත්, ඇත්තටම මටම වෙද්දි ඉතින් බය හිතුනා.
YOU ARE READING
සීමාවාසික අම්මා [COMPLETED]
Non-Fictionහැමදේම වෙනස් වෙන්න ඕනෙ වුණේ ඉරි දෙකක් විතරයි,, මේ මගේ කතාව....