මම මිතුල්.
මිතුල් දන්තනාරායන.
මං හිටියෙ තාත්තත් එක්ක.
තාත්තත් එක්ක කිව්වට, තාත්තයි, ආච්චියි, නැන්දයි එක්ක.
ඒ මෙහෙමයි දවසකට තාත්තා ලඟ, දවසකට නැන්දා ලඟ, තවත් දවසකට ආච්චි ලඟ.එතකොට අම්මා..???
එයා මං ලඟ නෑ. දැන් මාස 3කින් මං එයාව දැකලත් නෑ.
එයා ඉන්නෙ කොහෙද දන්නෙත් නෑ.මට අවුරුදු 3දි අම්මයි තාත්තයි වෙන් වුනාම අම්මා මාවත් අරං ගිහින් තියෙන්නෙ ඕස්ට්‍රේලියාවට. හැබැයි තාත්තා ඒකට කැමති වෙලා නෑ. එයා කලේ හැරෙන තැපෑලෙන් ගිහින් මාවත් අරන් ආයෙම ලංකාවට ඇවිත්. මෙහෙම කිව්වට මෙච්චර ලේසියෙන් නෙවෙයි. මහා ප්‍රශ්න ගොඩක්, මහා නීති ගොඩක් එක්ක ලොකු fight එකක් දීලයි එයා මාව අරන් තියෙන්නෙ.
ඉතින් එදා ඉඳන් මගේ ජීවිතේ ගෙවුනෙ ගෙවල් තුනක. මුලින් මුලින් ඒකට ආස උනත් පහු වෙන්න පහු වෙන්න ඒක මට මහා වදයක් උනා. තාත්තත් එක්ක මං රණ්ඩු උනා. අම්මට නොදී මාව ගෙනාපු එක ගැන දොස් කිව්වා.
හැබැයි මොන දේ උනත් තාත්තා මට ආදරේ කලා. මට ඒක දැනුනා.
එයාට හැමදාම මගේ ලඟ ඉන්න බැරි උනේ එයා වැඩත් එක්ක ගොඩාක් busy උන නිසා. තමන්ගෙම කියලා ව්‍යාපාරයක් කරපු එයාට, ළමයෙකුත් එක්ක තනි වෙලා ඉද්දි, සාර්ථක වෙන්න නම් ලොකු කැපකිරීම් කරන්න උනා.
එයා බය වුනා එයා ආර්ථික අතින් ගොඩාක් ශක්තිමත් උනේ නැත්නම්, අම්මා ඒ පිට දාලා මාව ආයෙමත් ගන්න හදයි කියලා.මේ මොනදේ උනත් ඉඩ ලැබෙන හැම වෙලාවෙම මාව කොහේ හරි එක්කගෙන ගිහින් විනෝද වෙන්න.
මාත් එක්ක එකතු වෙලා මං ආසම කෑම ජාති හදන්න.
මාත් එක්ක පාරවල් දිගේ බයිසිකල් පදින්න යන්න, එයා අමතක කලේ නෑ.හැබැයි එයාට මගේ ඉගෙනීම ගැන හොයලා බලන්න තරම් තේරුමක් තිබුනෙ නෑ. එක්කො ලොකු උවමනාවක් තිබුනෙ නෑ.
මාව ඉස්කෝලෙට ගිහින් දානවා ඇරෙන්න මං වැඩ කරනවද, මට නොතේරෙන දේවල් තියෙනවද, කියන එක එයාට ප්‍රශ්නයක් උනේ නෑ.මං වැඩක් කලා නම් කලේ නැන්දලාගෙ ගෙදරදි විතරයි. එහේ අයියයි අක්කයි වැඩ කරද්දි මාත් වැඩ කලා.
නැන්දා මට උදව් කලා.
මාමාට මං ටිකක් බය නිසා මං එහෙදි වැඩිය හිතුවක්කාර උනෙත් නෑ.
හැබැයි තාත්තටවත්, ආච්චිටවත් මාව ආම්බාන් කරන්න ලේසි උනේ නෑ.
![](https://img.wattpad.com/cover/298738146-288-k501240.jpg)