දඬු මොණරු 27

617 84 42
                                    

මළ ගෙයක් කියන්නෙම ඇඩුම්,වැලපුම් වලින් පිරුණු,බිමට නැමුණු දුක්බර මූණු වලින් පිරුණු තැනක්.තවමත් මිනිය ගෙනත් නැතත් දමිත් අයියලාගේ ගෙදරත් විලාප වලින් නම් අඩුවක් නෑ. දමිත් අයියා කියන්නේ ළමයි හය දෙනෙක්ම ඉන්න පවුලේ බඩ පිස්ස. ලොකුම අක්ක බැදලා ඉන්නෙ අල්ලපු ගමට නිසා එයත් මේ වෙද්දී ගෙදරට ඇවිත් විලාප තියන ගමන් හිටියෙ. කොහොමත් පවුලක වැඩිමලාට පවුලේ බාලයා කියන්නේ දරුවෙක් වගේනෙ.පවුලේ දෙවෙනි අයියා තමයි ආර්මි එකේ ඉදල නැති වෙලා තියෙන්නේ. තුන් වෙනියත් අක්ක කෙනෙක්ලු, එයා බැඳල ඉන්නෙ දුරක නිසා හෙට එයිලු. ඊලඟ අය්යලා දෙන්නාගෙන් ලොකු එක්කෙනා ඉස්පිරිතාලෙට ගිහින්.අනිත් අයියා ආර්මි එකේ ඉදල නිවාඩු ඇවිත් ගිහින් තියෙන්නෙත් ඊයේ පෙරේදලු. එයා තමයි යශ් අයියගෙ යාළුවා.

මළ ගෙදරට ඇවිත් හිටිය මිනිස්සු ඔහේ ඉදගෙන විස්තර කතා කරද්දි තමයි මමත් ඒ පවුලේ විස්තර දැන ගත්තේ.

"මේ තුන් දෙනාව ගෙදරට දාලා අපි ආයෙත් එමුද බං. හැබැයි අද නම් මිනිය ගේන්න වෙන එකක් නෑ, හෙට වත් වෙයි"

දුවික අයියා අපිව පෙන්නලා යශ් අයියට කියද්දි එයා ඉඳන් හිටිය තැනින් නැගිට්ට.

"දැන් කරන්න වැඩක් නෑනේ බං, හෙට උදේට එමු, මං ගෙදර යන්න ඕන බං"

යශ් අයියා එහෙම කියාගෙන දමිත් අයියගෙ තාත්තා ළඟට ගිහින් කතා කරා. ඒ වෙලාවේ තමයි පොඩි මහත්තයා කාර් එකක ඇවිත් මිදුලෙන් බැස්සේ. පොඩි මහත්තයා කෙලින්ම ආවේ අපිට ටිකක් එහායින් හිටපු දමිත් අයියගෙ ලොකු අක්කගෙ මහත්තයා ළඟට.

"විජේ"

"පොඩි මහත්තයා"

"මං මේ ඉස්පිරිතාලේ ඉදල එන ගමන්, මං හිතන්නේ හෙට දවල් වෙයි මිනිය ගේද්දි. පොලිස් පරීක්ෂණ කෙරෙන නිසා පරක්කු වෙයි"

"එහෙමද පොඩි මහත්තයා"

"මොනව හරි උදව්වක් ඕන නම් මට කියන්න. මං මල් ශාලාවටත් සල්ලි බැදලා ආවේ"

"අනේ පොඩි මහත්තයා මේ වෙලාවේ මේ කරන උදව්ම මදිද"

"එහෙම තමයි බං ගමේ මනුස්සයෙක්ට කරදරයක් උනාම. මං යන්නම් එහෙනම්. හෙට එන්නම්කො"

දඬු මොණරු Where stories live. Discover now