17. පුනරුත්පත්තිය දහසයවන කොටස

55 19 2
                                    

තත්පර කිහිපයක් ගතවනතුරුම ශෙන් මෝහනයට පත්වූ අයෙකු මෙන් ඔහු දෙස බලා සිටියේය.

ඉන් සුළු වේලාවකට පසු, ඉවත බැලූ ශෙන්, ඔහුගේ අනර්ථකාරී දෑත්වලින් මිදුණේය; ඔහු සිය උපැස් යුවල සකස් කළේය. "මම හොඳින්. ඔයාට ස්තූතියි."

කිසිවක් කරකියාගත නොහැකිවූ ගුවෝ මොරදුන්නේය. "චාඕ ප්‍රධානිතුමා, මාව බේරාගන්න!!!"

කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව සැකහැර දැනගනු පිණිස, චාඕ ඉක්මනින් ගබඩා කාමරයේ හාත්පසම පිරික්සා බැලුවේය. තත්ත්වය සමනය කරනු පිණිස ඔහු ඔපෙරාරූපී ගායන ශෛලියකින් කතා කරන්නට විය. "ඔබට සිදුවූයේ කිනම් අසාධාරණයක්ද, ඔබ එය සටහන් කළ දිවුරුම් ප්‍රකාශයක් ගෙන ආවාද? වහාම මාහට එය පෙන්වනු මැනවි!"

ගුවෝ මුව පහතට සිටින සේ බිම ඇද වැටුණේය.

සිය නාසය ඇතිල්ලූ ශෙන්, මුවේ ඇඳුණු සිහින් සිනහව සඟවා ගත්තේය.

ප්‍රේත ආත්මය නැවත පණ ලැබුවේය; හිස ඔසවා බැලූ ශෙන් දුටුවේ එය සිය සුවිසල් දෑකැතිවලින් චාඕට පහර දෙන ආකාරයයි.

වටයක් කැරකී යාන්තමින් පළමු පහර මඟහැරි චාඕ, ඔහුගේ කිණිස්සෙන් දෙවන පහර වැලකුවේය. ඔහු අනුකම්පා විරහිත දෑකැත්ත සිය ග්‍රහණයට නතුකර ගත්තේය.

ප්‍රේත ආත්මයේ පිටුපසින් නැඟී ආ ගැඹුරු පිරිමි කටහඬක් මන්ත්‍ර මතුරන්නට පටන්ගත්තේය. "නමෝ අමිතාභ..."

එක්වරම කොහෙන් හෝ ඝණ්ඨා නාදයක් නැගෙන්නට විය. ඉන් ඇතිවූ ශබ්ද තරංග ඒවා ගමන්ගත් මාර්ගයේ ඇති සියළුදේ සුණු විසුණු කළේය; ගුවෝට තෝන්තු ගතියක් දැනෙන්නට වූ අතර, වෙව්ලමින් සිටි ලී චියෑන්ගේ සෙලවීමද නැවතුණි.

හිසට වෙඩි පහරක් එල්ලවූවෙකු සේ මහත් පීඩාවෙන් කෑගැසූ ප්‍රේත ආත්මයේ සිරුරෙන්, නොනවත්වාම අඳුරු සෙවණැලි ගැලවී වැටෙන්නට පටන් ගත්තේය.

චාඕ එය මුදාහළ පසු, එය සාමාන්‍ය මිනිසෙකුගේ ප්‍රමාණය දක්වා කුඩා විය; දුර්වල ලෙස හැකිළුණු එයට විශාල උදරයකුත්, කෙසඟ සිරුරකුත් පිහිටා තිබුණේය.

චාඕ වියතක් පමණ උස වීදුරු බෝතලයක් පිටතට ගත්තේය. ඔහු එය විවර කළ විට, බෝතල් කටෙන් ආලෝක ධාරාවක් පිටතට විහිදුණේය. ප්‍රේත ආත්මය ආපසු හැරී පලායෑමට උත්සාහ කළේය. නමුත් ලින් කාමරයේ දොරටුව අවහිරවනසේ සිය හස්තයෙන් මහාබල මුද්‍රාව 1 සෑදුවේය; ඉන් නිර්මාණය වූ ශක්ති වළල්ලේ හැපුණු ආත්මය නැවතත් කාමරය තුළටම විසිවිය.

[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationWhere stories live. Discover now