24. සොබාදමේ ස්ථම්භය සිව්වන කොටස

49 19 6
                                    

බොහෝ වේලාවක් සෝදිසි කිරීමෙන් පසු, ශෙන් අවසානයේදී කල් ඉකුත් නොවූ බිත්තර දමා සාදන ක්ෂණික සුප් පැකට්ටුවක් (instant egg drop soup) සොයා ගැනීමට සමත් විය; චාඕගේ විනාශකාරී නිවහන තුළ ජලය හා ඖෂධ හැරුණුකොට ආහාරයට ගත හැකි යමකට තිබුණේ මෙය පමණි.

නැවත දුම් පානය කිරීමට පටන් ගත් චාඕ, මුළුතැන්ගෙය තුළ කාර්යබහුලව සිටිනා ශෙන් වෙත එබිකම් කළේය. ඔහුගේ සිනහව අයෙකුව කෝපගන්වන සුළු විය. ඔහුගේ අසංවර මනස තුළ සිදුවන්නේ මොනවාදැයි දන්නේ කවරෙක්ද.

අඩි පොළොවේ ගසමින් ඔහු වෙත ඇවිද ගිය ශෙන්, ඔහුගේ සිගරැට්ටුව උදුරා ගෙන එය අළු බඳුන තුළට දැමුවේය. ඔහු කෝපයෙන් ඇඳ අසල වූ මේසය මතින් සුප් කෝප්පය තැබුවේය. "මේක බොන්න."

ඇසිපිය සැලූ චාඕ නිහඬවම බඳුන අතට ගෙන, එය පානය කරමින් කල්පනා කළේය: මැරයන් රංචුවක් විසින් මංකොල්ලකනු ලබන විටදී පවා කෝප නොගන්නා මහාචාර්ය ශෙන් චාඕ කෙරෙහි කෝප ගන්නේය.

මඳ වේලාවකට පසු චාඕ මෙයට හේතුව වටහා ගත්තේය. ඒ ඔහු කඩවසම් නිසා, ශෙන්ගේ සිතෙහි ඔහු පිළිබඳව කැමැත්තක් හටගැනීම නිසාය.

ඔහු ඉදිරිපිට සිටිනා මේ පුද්ගලයා කෙතරම් කාර්යබහුලදැයි ශෙන්ට සිතාගත නොහැක. සුප් බොන අවස්ථාවේදී පවා ඔහු අහංකාර ලෙස හැසිරීමට ඇති කාලය මඳක් හෝ අපතේ නොයවයි.

චාඕගේ නිවහන පිළිබඳව ශෙන් තුළ වූ කෝපය දිගින් දිගටම වර්ධනය විය. මනුෂ්‍යයෙකු මේ අයුරින් ජීවත් වන්නේ කෙසේදැයි ඔහු කල්පනා කළේය. හිස ගසා දමා මරණයට පත්කිරීමට නියමිත වූ සිරකරුවෙකු පවා ඔහු පිටවී යාමට පෙර අවසන් වතාවට ආහාරවේලක් ලබා ගන්නේය; යහපත් සිහිකල්පනාවක් ඇත්තේ නම් මේ අයුරෙන් තමාවම හාමත් කරගන්නේ කුමනාකාරයේ තැනැත්තෙක්ද?

චාඕ දෙස බැලූ ඔහු සැක කළේ, ඔහු මියගියහොත් ඔහුගේ මිනිය රැගෙන යාමටවත් කිසිවකු නොපැමිණෙනු ඇති බවයි.

මඳ වේලාවක් නිහඬව සිටි ශෙන් එක්වරම මෙසේ පැවසීය. "චාඕ නිලධාරීතුමා තරුණ කෙනෙක් නෙමෙයි, ඒ වගේම ඔයාට ස්ථිර රැකියාවක් තියෙනවා. ඒ නිසා මේ ඔයාට පෙම්වතියක් හොයාගෙන පවුලක් පටන් ගන්න සුදුසු කාලේ; ඔයාව බලාගන්න කෙනෙක් ඉන්නවනම් ඒක හොඳයි." එසැණින් අධික ලෙස ලුණු දමන ලද බිත්තර සූපය චාඕගේ උගුරේ සිරවිය. ඔහුගේ පෙනහළු පිපිරීයාමට ආසන්න විය.

[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationWhere stories live. Discover now