30. සොබාදමේ ස්ථම්භය දසවන කොටස

48 12 3
                                    

වංග්ගේ කටහඬ සැබවින්ම ඉතාමත් ප්‍රසන්න විය. තවමත් ඇය මනුෂ්‍යයෙකු වූවා නම් ඇයට ගායිකාවක් වැනි අයෙකු විය හැක. නමුත් ඇය දැන් අවතාරයක් වූ නිසා ඇගේ හඬ කෙමෙන් විකෘති වී තිබූ අතර, ඇය අසන්නෙකුගේ සිරුරේ හිරිගඩු පිපී කොඳු නාරටිය ඔස්සේ වෙව්ලීමක් ගමන් කරවීමට සමත්, දුර්වල හා සියුම් ස්වරයකින් කතා කළාය.

ඇය එක්වරම හඬ නැගීම පිරිස තිගැස්සවීමට සමත් විය.

ශෙන්ගේ සිසුන් සියළු දෙනා ඈ දෙස බැලූ අතර, වන්ග් ඇගේ සිරුරට හුරුවී නොසිටි නිසාවෙන් ඇයට සැමගේ දෑස් මානයේ රැඳී සිටිනු විනා කළ හැකි අන් කිසිවක් නොවීය.

චාඕ උණුසුම් වීම පිණිස සිය දෑත් පිරිමැද්දේය. "ඔයාලා මෙතන ඉන්න, මම ගිහින් බලන්නම්."

චාඕ නිර්භීතව අංගනයට ඇතුළු වූ අතර ශෙන් කිසිදු පැකිළීමකින් තොරව ඔහුව අනුගමනය කළේය.

කාලගුණය හේතුවෙන් අංගනය දියබත්ව අවලක්ෂණ වී තිබුණි. සෙමෙන් ගමන් ගත් චාඕ එහි අවට පියමැන්නේය. කළු බළලාගේ දෑස් ලන්තෑරුම් මෙන් දිලිසෙමින් තිබූ අතර, එක්වරම චාඕගේ දෑතින් බිමට පිනූ ඌ එහි එක් කොනක් වෙත දිව ගියේය. බළලා උගේ මහත පාදවලින් එහි පොළොව මතවූ කුඩා ගොඩැල්ලක් පහුරුගාන්නට විය.

බිම දණගැසූ චාඕ බළලාගේ ගෙල පිටුපසින් අල්ලා ඌ ඔසවා, උගේ පාද පිසදමා පිරිසිදු කළේය. ඔහු විදුලි පන්දමක් අල්ලා මඩ මතුපිට වූ සිදුර හොඳින් පිරික්සුවේය.

ඔහු ඇත් දළ මෙන් සුදු පැහැ වූ යමක් දුටුවේය. ඔහුගේ බෑගයෙන් කුඩා සවලක් පිටතට ගත් චාඕ අපහසුවෙන් එහි කැණීමට පටන් ගත්තේය... ඒ ඔහු තරමක් සමතලා වූ නළලක් හා අක්ෂි කුහරයකින් අඩක් දකිනා තුරුය. ඔහු හිස්කබලකින් අඩක් හාරා පිටතට ගත් බව චාඕ වටහාගත්තේය. චාඕ හිස්කබලක් පිටතට ගත් අයුරු නිහඬව බලා සිටි ශෙන් අංගනයේ අවට නෙත් යොමු කළේය: එහි ඒ හා සමාන ගොඩැලි බොහෝ විසිරී තිබුණි. නිසැකවම අතිවිශාල ඇටකටු ප්‍රමාණයක් ඔවුනට යටින් වළදමා ඇත. ආපසු හැරුණු ශෙන්, බියපත්වූ නමුත් කුතුහලයෙන් පිරුණු සිසුන් ඒ දෙස එබී බලනු දුටුවේය; චාඕගේ බාහුව නිසල වන ලෙස අල්වාගත් ඔහු මෙසේ පැවසුවේය, "ඒක වළදාන්න, අනිත් අයට කියන්න එපා."

[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationWhere stories live. Discover now