28. සොබාදමේ ස්ථම්භය අටවන කොටස

52 18 4
                                    


ශෙන් ඇතුළු කණ්ඩායමේ සියලු දෙනාම වික්ෂිප්ත වී සිටිනා අතරතුර, චාඕ ලැන්ග් සහෝදරයා සමඟ ඔවුන් කැටුව ගිය අතර, ඔවුනට ඉස්තරම්ම වර්ගයේ ආහාර වේලකින් සංග්‍රහ කළ ඔහු එම නගරයේ පිහිටි එකම තරු පහේ හෝටලයේ ඔවුනට නවාතැන් දුන්නේය.

පසුදා උදෑසන, අහස් කුස තවමත් අඩ අඳුරේ ගිලී ඇති විට, ජීප්රථ තුනක් හෝටලයේ පිවිසුම වෙත ළඟා විය. එම ජීප් රථවල පිටුපස ශීත කාලයේ අඳිනා ඇඳුම්, පිටත ඇවිදීමට උවමනා කරන ආම්පන්න, ශක්තිජනක ආහාර සහ ප්‍රථමාධාර කට්ටල තිබුණි. වෘත්තීයමය පර්යේෂණ කණ්ඩායමකට අවැසි සියලුම දෑ ඔවුන් සතු විය.

ලැජ්ජාශීලී හෝ ස්තූතිවන්ත වන බවක් නොපෙන්වූ චාඕ සතුටෙන් මෙම විශාල උපකාරය පිළිගෙන, සෑම රියැදුරකුටම සිගරට්ටුවක් ලබා දෙන ලෙස ලින්ට පැවසුවේය. ඔහු ලැන්ග් සහෝදරයා සමඟ තව මද වේලාවක් කතාබස් කරමින් සිටියේය.

ලැන්ග් සහෝදරයා සිය වලස් අත්වලින් චාඕගේ උරහිසට වැරෙන් තට්ටු කළේය. "මගේ හොඳ මල්ලියේ, එහෙනම් පිටත්වෙන්න. මට ඔයාලට හොඳින් සලකන්න බැරි වුණා, ඒකට සමාවෙන්න."

චාඕ ඔහු වෙත ගැඹුරු බැල්මක් හෙළුවේය. "ඔය බලන්නකෝ, ඔයා ආපහු මාත් එක්ක රාජකාරිමය විදිහට කතා කරනවාද? ලැන්ග් සහෝදරයා, ඔයා කවදාහරි ලොන්ග් චෙන්ග් නගරයට ආවොත්, මම මට පුළුවන් උපරිමයෙන් ඔයාව පිළිගන්නවා; සී සහෝදරයාටත් කතා කරලා අපි තුන්දෙනාට හොඳට විනෝද වෙන්න පුළුවන්."

ඔවුන් එකිනෙකාගෙන් සමුගත් අතර, චාඕ ශෙන් වෙත හැරුණේය. "කඳුකරයේ වාහන පදවන එක ලේසි නැහැ. ඒ වගේම ළමයින්ගේ හැකියාව දුර්වලයි; මගේ හිතට ඒක කරදරයක්. අපි මේ මෙහෙම කරමුද: ලිනුයි ෂුයි මමයි වාහන පදවන්නම්. අපිට පුළුවන් ළමයින්ව කණ්ඩායම්වලට බෙදන්න. ඔයා මොකද හිතන්නේ?"

මුදල් ගෙවා ලබාගන්නා ලද මාර්ගෝපදේශකයෙකු පවා මෙතරම් පරීක්ෂාකාරී හා සැලකිලිමත්වන්නේ නැත. ශෙන් ඔහුව ප්‍රතික්ෂේප කළහොත් එය ඉතාමත් අශිෂ්ට හැසිරීමක් සේ දිස්වනු ඇත.

නමුත් ශෙන් චාඕ මෙන් ලැජ්ජාවක් රහිත තැනැත්තෙකු නොවීය. චාඕට තමා නිසාවෙන් මෙසේ කරදර වීම පිළිබඳව ඔහු ලැජ්ජාවට පත් වී සිටියේය. "මම මේ ගමන කලින් සැලසුම් කරේ නැති නිසා ඔයාට ගොඩක් කරදර සිද්ධ වුණා. අනිත් එක මම ලැන්ග් මහත්තයාව අඳුරන්නෙත් නැහැ. ඒවගේම මේකට එයාට හුඟක් ලොකු වියදමක් වෙන්න ඇති. ඔයා හිතන්නේ අපි මේකට පස්සේ එයාට මොනවා හරි යවන්න ඕනේ කියලද..."

[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationWhere stories live. Discover now