26. සොබාදමේ ස්ථම්භය හයවන කොටස

68 17 8
                                    


ඒ සඳුදා උදෑසනයි. කාර්යාලය උදේ කෑම සුවඳින් පිරී තිබුණි.

ෂු හොන්ග් ආපනශාලාවේ සිට කටට කෙල උනනා තරම් විශාල, රසවත් හා කදිම පිරවුම්වලින් පිරී තිබුණු බනිස් කිලෝග්‍රෑම් තුනක් රැගෙන ආවාය.

ප්‍රමාද වී එහි පැමිණි, උදේ ආහාර නොගත් සියලුදෙනා එම සිත් පිනවන සුවඳ වෙත ඇදී ආහ; සාමාන්‍යයෙන් සිය කාර්යාල කුටියේ සැඟවී සිටින චාඕ ප්‍රධානිතුමා පවා පිටතට ගෙන ඒමට එය සමත් විය.

මහාචාර්ය ශෙන් දුම්පානය, මත්පැන් පානය හා අධික තෙල් සහිත ආහාර ගැනීමෙන් වලකින ලෙස පැවසූ වදන් චාඕට අමතක වී බොහෝ කල්ය. ඔහු විශාල මහත මස් දැමු බනිසයක් සිය කටේ ඔබාගෙන, ගුවෝගේ හිසට තට්ටු කළේය.

"ඒයි ළමයා, රූපවාහිනිය දාන්න."

ගුවෝ සිය පශ්චාත් භාගය සොලවමින් ඉදිරියට ගියේය; පිටුපස සිට ඔහු දෙස බලා සිටි ෂු, හාස්‍යයෙන් යුතුව මෙසේ පැවසුවාය.

"පුංචි ගුවෝ හරිම හොඳයි. එයා මහන්සි වෙලා වැඩ කරනවා.ඒ වගේම අනිත් අය ගැන හිතනවා; ඒ උනාට එයා කුලෑටි වැඩියි. මේ වෙනකන් එයා කන්න තරම් නිර්භීත වුනේ මම එයාට දුන්න දේවල් විතරයි."

චාඕ මෙසේ පැවසුවේය,

"ඒක සාමාන්‍යයයි. එයා මිනිස්සුන්ට බයයි."

ෂුට එය තහවුරු කරමින් හිස සෙලවීමට අවශ්‍ය වුවත්, මෙහි කිසියම් අමුත්තක් ඇති බව ඈ එක්වරම වටහාගත්තාය.

චාඕ තවදුරටත් කරුණාවන්ත හඬකින් කථා කළේය.

"එයා ඔයාට බය නෑ. ඒකෙ තේරුම තමයි, එයා ඔයාව මනුස්සයෙක් විදියට දකින්නේ නෑ."

ඔහුව නොසලකා හැරි ෂු, මේසය මතට ගොඩවන දා චිංග් දෙස බලා සිටියාය.

දැඩි අවධානයකින් යුතුව නිරීක්ෂණයක යෙදුණු ඌ, චාඕ බනිසය සිය මුව වෙත රැගෙන යනවාත් සමඟම නිවැරදි ඉලක්කයට සිය නිය විහිදුවා, එය උදුරා ගත්තේය; උගේ නිරවද්‍ය කාල නීර්ණය මෙන්ම ජවසම්පන්න චලනයන්, ඌ කෙතරම් මහත පූසෙකු දැයි ඔබට අමතක කරවීමට සමත්ය.

ඉන්පසු නිර්භීත ලෙස මේසයෙන් බිමට පැන්න දා චිංග්, උඩු ගුවනේදීම බනිසය හපා, වේගවත් හා සැහැල්ලු ලෙස පිටුපසට කරණමක් ගසා පොළොව මත පතිත විය. ඉන්පසු සිය පශ්චාත් භාගය සෙලවූ ඌ, පූස් ගමනින් ඉවතට ඇවිද ගියේය.

[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationWhere stories live. Discover now