20. පුනරුත්පත්තිය දහනවවන කොටස

59 18 4
                                    

"මම පොඩි කාලේ, ආච්චි අම්මා හැමදාම මාව උදේ ඇහැරවලා, මගේ කොණ්ඩේ පීරගන්න උදව් කරනවා. ඊටපස්සේ එයා මාත් එක්ක ඉස්කෝලෙට ඇවිදගෙන යනවා. යනගමන් එයා මට කතන්දර කියනවා; ආච්චි අම්මා තමයි මම මේ ලෝකේ වැඩියෙන්ම කැමති කෙනා."

ලී තමාටම කතාකරන්නාක් මෙන් අතීතය සිහිකළාය.

අවසානයේදී සිගරට්ටුවක් පිටතට ගත් චාඕ ඉන් සෙල්ලම් කරන්නට විය; ගුවෝ ප්‍රශ්න කළේය. "ඊටපස්සේ... ඔයා එයාට කැමතිවුණු එක නැවැත්තුවාද?"

ලී ඔහු දෙස බැලුවාය. "මට මතකයි ඔයා කීවා ඔයාගේ ආච්චි අම්මාව ආපහු ගේන්න ඔයා ඔයාගේ ජීවිතේ දෙන්න කැමතියි කියලා. ඒත් හිරුතැටිය ඔයාගේ ගෙදර තිබුණේ නෑ; ඔයා ඇත්තටම වාසනාවන්තයි."

මෘදු ලෙස ඇය දෙස බැලූ ගුවෝ හේතුවක් සිතීමට වෙහෙසුණේය. "ඒ එයාව බලාගන්න එක හුඟක් වෙහෙසකර වුණු නිසාද, හුඟක්..."

ලීගේ දෑස් රුහිරු මෙන් රත් පැහැ ගැන්වුණු අතර, ඇය ඔහු දෙස අමානුෂික බැල්මක් හෙළුවාය. "ඒ වගේ මෝඩ හේතුවක් කියලා මට අපහාස කරන්න එපා."

නොසන්සුන් වූ ගුවෝ රත් පැහැයට හැරුණි.

"එයා වෙනස් කෙනෙක් වුණා. එයාට කිසිම දෙයක් මතක තිබ්බේ නෑ. එයා කිසිම තේරුමක් නැති දේවල් ගැන, එකම දේ දිගින් දිගටම කියෙව්වා. හැමතිස්සෙම එයා කලිසම තෙමාගන්නවා, කද්දි කෑම හැමතැනම විසුරුවනවා, ඒ වගේම හුඟක් කෙළ පෙරාගෙන ඉන්නවා. මම මොනවා කර කර හිටියත්, හැමදාම එයා විකාර මුමුණ මුමුණා ගෙදර හැමතැනම මගේ පස්සෙන් එනවා!"

"මම එයාව හැමදාම දකිද්දි, මට හිතන්න පුළුවන් වුණේ එකම දෙයක් විතරයි: මගේ ජීවිතෙන් භාගයක් වෙනුවට මට ලැබුණේ මේකයි."

ලීගේ මලානික මුහුණේ දරුණු, භයානක සිනාවක් ඇඳුණි.

"මට ඕනේ කරපු ආච්චි අම්මා කවදාවත් ආපහු ආවේ නෑ. මම මගේ ජීවිතෙන් භාගයක් පාවිච්චි කළා. ඒකෙන් මට ලැබුණේ..." ලීගේ මුහුණේ මස්පිඬු ඉලිප්පෙන්නට විය. ඇය පිළිකුළෙන් කතා කළාය. "රාක්ෂයෙක්."

ලීගේ රත් පැහැ දෙනෙත් ගුවෝගේ ආත්මය විනිවිද ගියේය. "මම එයාට වෛර කරනවා; මම එයාව දකින හැම මොහොතෙම මට එයාව මරන්න ඕනේ වුණා. හැමදාම මට ඉවසීමෙන්, කරුණාවන්තව එයාගෙන් අහන්න සිද්ධ වුණා එයාට කන්න ඕනේ මොනවද කියලා, එයාට වැසිකිලියට යන්න ඕනේද, එයාට මහන්සියිද, සීතලයිද කියලා; එතකොට එයා මෝඩයෙක් වගේ මට හිනාවෙනවා."

[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationWhere stories live. Discover now