19. පුනරුත්පත්තිය දහඅටවන කොටස

56 25 6
                                    

මෙම පැනය මුළු කාමරයම නිහඬ කරවීමට සමත් විය. මඳ වේලාවකට පසු අවතාර විනාශකයා කතා කළේය.

"ඔබට දැඩි අධිෂ්ඨානයක් තිබුණා ඇයට නැවත ජීවය ලබා දෙන්න, කුමන කැපකිරීමක් කර හෝ... ඇතැම්විට, ඔබේ අභිප්‍රාය ශක්තිමත්වේනම් ඕනෑම දෙයක් කළ හැකියි; නමුත් ඉන් අදහස්වන්නේ නැහැ ඔබ කළ දේ නිවැරදි බව."

ලීගේ දෑස් රත් පැහැවිය; කිසිවෙකුටත් සිය දුබල බව පෙන්වීමට අකමැති වූ ඇය ඉවත බැලුවාය.

ඇය ගැඹුරු ඒකාකාරී හඬකින් කතා කළාය. "ඔව්, මම මනුස්සයෙක් විතරයි, ජීවිතේ මට මොනවා උරුම වුණත්... මට හිටපු එකම නෑදෑයත් නැතිවුණා, මගේ දෙමව්පියෝ මට වෛර කරනවා, මට විශ්ව විද්‍යාල ගාස්තු ගෙවාගන්නත් හරිම අමාරුයි, ඒ වගේම මට මෙහෙ හරිහමන් රස්සාවක් හොයාගන්නත් බෑ; මම හරිම විහිළුවක්, එහෙම නේද? මට සිද්ධ වුණා... මේ ඔක්කොම ඉවසන්න; මට ඇත්තටම ආච්චි අම්මාට පණ නොදී ඉන්නයි තිබුණේ; මට එයත් එක්කම මැරෙන්නයි තිබුණේ."

චාඕ සන්සුන්ව ඈ දෙස බැලුවේය.

ලී බොල් හඬකින් සිනාසුණාය. "මම හරියට හෙමීට අමරුවෙන් පොළොව දිගේ බඩගාගෙන යන ඉබ්බෙක් වගේ. මගේ ළඟින් යන අය මට පයින් ගැහුවම මම උඩුබැලි අතට වැටෙනවා; මම හුඟක් දුක් විඳලා ආපහු කකුල් හතරෙන් හිටගත්තාම, මට ආපහු පයින් ගහනවා. ඒක විහිළුවක් නෙමෙයිද?"

ඇය එය සැඟවීමට හැකිතාක් උත්සාහ දැරුවද, මෙම තරුණියගේ සිත කෝපයෙන් හා පසුතැවීමෙන් පිරී තිබුණි. ගුවෝගේ මුහුණ රත් පැහැ විය: ඔහු මෝඩයෙක් හා කම්මැලියෙකි. නමුත් ඔහුට ඔහුගේ මාමා නිසා මෙම රැකියාව ලැබුණි; නැඟී සිටි ඔහු මෙසේ පැවසීය; "මම... මම ඔයාට වතුර කෝප්පයක් අරන් එන්නම්."

චාඕ ප්‍රශ්න කරන්නට විය. "හිරුතැටිය ඔයාට ප්‍රතිචාර දක්වලා, ඔයාගේ ආච්චි අම්මාව බේරුණා, හැබැයි එයා ඊට පස්සෙත් අසනීපෙන් හිටියේ. ඔයාද එයාව බලාගත්තේ?"

"වෙන කාටද ඒක කරන්න පුළුවන්," ලී හැඟීම් විරහිතව ප්‍රකාශ කළාය. "මගේ දෙමව්පියෝ එයාව භාරගන්න කැමති වුණේ එයා මැරෙන්න යනවා කියලා දැනගත්තට පස්සේ විතරයි."

[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationWhere stories live. Discover now