31. සොබාදමේ ස්ථම්භය එකොළොස්වන කොටස

18 5 0
                                    


"කාලයක් ගතවෙද්දි, මේ පළාතේ දේශගුණය එන්න එන්නම අයහපත් වුණා," වන්ග් භාජනයට ජලය ස්වල්පයක් එකතු කළාය, "ජනගහණය අඩු වුණා, ඊට පස්සේ... හ්ම්ම්, මට හොඳටම විශ්වාස නැහැ, මම හිතන්නේ සොන්ග් හා යුආන් රාජ්‍ය සමයේදී, මහා විනාශයක් සිද්ධ වුණා. එදා ඉඳලා, මෙහෙ හිටපු හුඟක් මිනිස්සු එක්කෝ මැරිල එහෙම නැත්නම් සංක්‍රමණය වෙලා, ඉතුරු වුණේ ගුහාවක හිටපු හංගා ජනතාවගේ පුංචි ගෝත්‍රයක් විතරයි."

"මේ තොරතුරු මොනවාහරි ලිඛිත ඉතිහාසයේ ලේඛනගත කරලා තියෙනවද?" පන්ති නායිකාව විමසුවාය.

වන්ග් සිය හිස සැලුවාය, "ඉස්සර කාලේ මේ කඳු පන්ති මධ්‍යම තැනිතලාවේ කොටසක් නෙමෙයි. ඒ නිසා හන් ශිෂ්ටාචාරය කවදාවත් මේ පළාතට ව්‍යාප්ත වුණේ නැහැ. සමහරවිට මේ ගැන භූගෝලීය දත්ත තියෙන්න පුළුවන්, ඒ වුණත් මේ තැන කොච්චර හුදකලා වෙලා තිබුණද කිව්වොත් අධිරාජ්‍යයේ පරිපාලනය හුඟක් දුරට මෙහෙ ජනාවාස තිබුණයි කියලා දැනගෙන ඉන්න නැතුව ඇති. හැබැයි ස්වදේශිකයන් අතර ජනවහරේ පැවතගෙන එන පුරාවෘත තියෙනවා. ඒවගේ කියවෙනවා හිම රාක්ෂයන් බවට පත්වෙලා කන්ද පහළට ආවා, සුදු පාට සත්ත්වයන් පොළොවේ ඉරි තැලුම්වලින් හා වතුරෙන් මතුවෙලා, මිනිස්සු සත්තු අල්ලාගෙන, එයාලගේ බඩවැල් එළියට ගත්තා, හිස් ගසා දැම්මා කියලා."

මේ පිළිබඳව මඳක් කල්පනා කළ පන්ති නායිකාව, ඇය එය වටහාගත්තාක් මෙන් හිස සැලුවාය, "හරි, ඒක භූමිකම්පාවක් නිසා ඇතිවෙච්ච හිම කඳු කඩා වැටීමක් වෙන්න ඇති." වන්ග් සිය හිස එසවූයේ නැත. "හංගා ජනතාව පස්සේ නදී ගම්මානය ආසන්නයේ කඳුකරයේ ගැඹුරට සංක්‍රමණය වුණා. ඔයාලා නදී ගම්මානයේ සුළු ජාතීන් ගැන අධ්‍යයනය කරන කොට, ඔයාලට තේරුම් යයි එයාලගෙන් හුඟ දෙනෙක් හංගා ජනතාවට සමානකම් දරනවා කියලා. ආකාශ භූමදාන ස්ථානය විනාශ වුණා, ඒ වුණත් ආකාශ භූමදාන ස්වාමියාගේ ගෙපැල ඉතුරු වුණා. පස්සේ ඒක හංගා ජනතාවගේ නිරීක්ෂණ කුටියක් බවට පත්වුණා. හැම මාසෙකම එයාලා ශක්තිමත් මනුස්සයෙක් අනතුරක පෙරනිමිති පිළිබඳව නිරීක්ෂණය කරන්න එතැනට එව්වා. කාලයක් ගතවෙද්දි, නිරීක්ෂකයා ගෝත්‍රයේ ඉන්න ඉතාමත්ම ගෞරවාන්විත පුද්ගලයා බවට පත් වුණා. ඒ වගේම මේ ගෙපැල එයාගේ නවාතැන්පල බවට පත්වුණා."

[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationWhere stories live. Discover now