~ 2 ~

400 80 26
                                    

"ම...මහීසේනා කුමරියනි, රජ...රජතුමාගෙන් කැඳවීමක් ඔබතුමියට..." , මාලිගාවේ දාසියක හති දමමින් සැලකර සිටියේ මාලිගා අංගනය පුරාම හාවුන් සොයා දිවගිය කුමරියව හඹාගිය මහන්සිය නිසාය. මහීසේනා අවසානයේ ධවල හා කාල ව සොයාගෙන සුරතල් කරමින් සිටියාය.

 කුමරියට එය ඇසුණු වගක්වත් පෙනෙන්නට නැත. මන්ද ඇය හා පැටවුන් සමඟ බරපතල සංවාදයක පැටලී සිටියාය.

" නුඹලාට මා හැමවිටම කියනවා මගෙන් අවසර නොගෙන කොහිවත් නොයන ලෙස... නමුත් හැමවිටම එපා කියන දෙයමයි සිදුකරන්නේ. සැබෑවටම කෙසේද නුඹලත් මා ලෙසම හැසිරෙන්නෙ ආ ? සහෝදරයන් වශයෙන් මට ආදර්ශයක් විය යුතු නොවෙද ?

සැමවිටම නුඹ දෙදෙනාව සොයනවාට වඩා මට බොහෝ කාර්යයන් තිබෙනවා කරන්නට. මෙලෙස අපතේ යන්නේ මා දඩයමට වැය කළ යුතු කාලය නොවෙද ? අනික නුඹලා සැඟවෙනවා නම් , ඊට එක් ස්ථානයක් තබාගැනීමට පුරුදු වන්න. මට නොහැකියි මුලු මාළිගා අංගනයම පීරන්නට. මා ළඟට පමණයිනේ පැමිණෙන්නෙ නුඹලා... නැතිනම් දාසියන් මට නුඹලව අල්ලා දේවි. ඔවුන්ටත් අන් කළ හැකි කිසිවක් නොවන නිසා ඔවුන් මා පසුපස හඹා එනවා... ඉතින් මුලු මාළිගයම කැළඹෙනවා නුඹ දෙදෙනා නිසා.

මින්පසු මෙසේ සිදු කළොත්, දඬුවම් කරනවා මා නුඹලාට.. උඳුපියළිය ලබාදෙන්නෙ නැහැ, කුසගින්නේ තබනවා දවසම. දන්නවානෙ එසේ කිරීම මට කොතරම් වේදනවක්ද කියා ? ඒ නිසා මා නුඹලාට කියාදී ඇති ආකාරයට රාජකීය හාවුන් ලෙස හැසිරෙන්න අද පටන්වත්.

හ්ම්... වෙහෙසයිද? අපි යමු... දැන් අප දඩයම් කරන වේලාව. මා නුඹලාට උඳුපියළිය සොයා දෙන්නම්. "

දාසියන් හැමදෙනාම හතිලමින් අසා සිටියේ මේ කතාබහයි. පසුගිය දහසය වසර පුරාවටම මෙවැනි තරවටුකිරීම්, දඬුවම් කිරීම් පිළිබඳ වදනටම පමණක් සීමා වූ තර්ජන ඔවුනට සුපුරුදු දෑය. කාලය ඉගිල ගියද මහීසේනා පිළිබඳව වෙනස් නොවූ එකම දෙය ඈ තම කුඩා සොයුරන් ලෙස සලකන ධවලකාලයන් සමඟ සිදුකරන දඟකාර කතාබහයි, ඒ ළබැඳියාවයි. ඒ හැරෙන්නට අන් සියල්ලම වෙනස් වී ඇත.

ඈ පංචකල්‍යණියෙන් අනූන රූමත් තරුණියක බවට පත්ව සිටියාය. දිය දහරාවක් මෙන් කඩා හැලෙන දිගු සුනිල් වරලස ඈ දිවයන විට දසත විසිරෙයි. දුටුවන් සිත මන්මත් කරවන වතකට හිමිකම් කී ඇගේ බුද්ධිමත් බව කියාපාන තීක්ෂණ නෙතු යුගල විටෙක අන්‍යන්ගේ කශේරුව දිගේ සීතලක් දැනවීමට වුව සමත් වේ. අද සිටින්නේ එදා සිටි පියාණන්ගේ පුංචි හුරතලිය නොවේ. ප්‍රතාපවත්වූත්, බුද්ධිය, රණකාමීත්වය , රූපය, මේ සියල්ලන්ගෙන් අග තැන්පත්වූත් මහීසේනා කුමාරිකාවය.

" කුමරියනි... රජතුමාගෙන් කැඳවීමක් ", දාසිය නැවතත් සැලකර සිටියේ මහීසේනා නික්ම යාමට සූදානම් වූ විටය.

" කැඳවීමක් ? ඒ කුමකටද ? පියාණන්ට පවසන්න මා සුපුරුදු ලෙසම දඩයම අවසන් වූ පසු පැමිණ එතුමා හමුවන බව. "

" මහී කුමරියනි.... " , කුමාරිකාවගෙ ප්‍රධන දාසිය වූ භද්‍රා ද මාලිගා අංගනයට පිවිසියාය.ඈ කුමරියගේ සමීපතම දාසියද වූවාය. ඈ කුඩා කල සිට කුමරියට සුරතලයට ඇමතුවේ " මහී කුමරිය " කියාය. භද්‍රාට හැර මාලිගයේ අන් කිසිවකුට කුමරියට එසේ ඇමතීමට අවසරයක් නොමැත.

"මන්ද නුඹලා සියලු දෙනා සුනඛ ධේනුවන් මෙන් හතිලමින් ? " , භද්‍රා විමසුවේ දාසියන්ගෙනි.

" නුඹලා මෙවරත් කුමරිය පසුපස දිව ආවද? හැබෑවටම වැටහෙන්නෙ නැතිද නුඹලාට එතුමියව හඹා ඒම නිශ්ඵල කාර්යයක් බව ? මා නම් කෙදිනකවත් ඔය මුග්ධ ක්‍රියාව සිදු කරන්නෙ නැහැ. ඇගේ හා සොයුරන් හැමවිටම සැගවෙන්නේ මේ උද්‍යානයේ... ඉතින් මා නම් නිවි සැනසිල්ලේ මදක් විවේක ගෙන සිටයි උද්‍යානයට පැමිණෙන්නේ ඇයව කැඳවාගෙන යාමට. සැමදිනකම මා පැමිණෙන විට සොයුරු සොයුරියන් එකිනෙකා සොයාගෙන් අවසන්, එනිසා මට කිසිදු වෙහෙසක් දැරීමට සිදුවන්නේ නැහැ." . භද්‍රා පැවසුවේ මද ආත්මභිමානයකිනි.

"භද්‍රා... නුඹේ ඔය නුවණින් ටිකක් මොවුන්ටත් ලබා දෙන්න. මොවුන් ළතෝනි දෙමින් මා පසුපස හඹා ඒම මට මහ හිසරදයක්. පියාණන් මා කැඳවූයේ ගෝසාව කුමක්දැයි විමසීමටවත්ද ?

භද්‍රා , ගොස් පවසන්න එතුමාට මා සන්ධ්‍යාවේදී පියාණන් බැහැදැකීමට පැමිණෙන බව."

මහීසේනා ධවල හා කාල වත් දෝත දරාගෙන තම කුටිය බලා පිටව ගියේ දඩයමට සුදුසු ඇඳුමින් සැරසීමටයි.

***










මං මේ කතාව ආසාවට ලියන එකක් :)

හිතුවෙ නෑ කවුරුවත් කියවයි කියලා,
ඒත් හැමදාම මං ලියන ඒවා කියවන අය මේකත් කියවලනෙ... හිහි :)))

ආදරෙයි ධවල කාලට තරම්ම......

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now