~ 29 ~

170 43 47
                                    


මගේ පුංචි දියණිය මහී ,


ඔබ කෙසේද මෙතරම් මුරණ්ඩු වූයේ මහී ? මා ඔබට මාළිගයෙන් පිටවීම තහනම් කර තිබයදීත් ඔබ එය නොතකා අනතුර අත වනන දෙසට පිය නැගුවේ මේ මහලු පියාණන්ව අමතක කර දමාද ? ඔබේ ජීවිතයට යම් අනතුරක් වූවා නම්... ඔබව සොයාගත නොහැකි වූවා නම්.. මා මටම කිසිදා සමාවක් නොදෙනු ඇති.


භද්‍රා මා හට සියල්ල පැවසුවා... ඇගේ නම මහීධ්විකා බවත්. ඔබ වැනි තවත් දියණියක් මා නොදැනම මෙලොව ජීවත්ව තිබෙනවා මෙතෙක් කල්.. මට ඔබේ මෑණියන්ගේ සිතුවිලි වටහාගත හැකියි. ඈ එසේ කළේ ඔබ දෙදෙනාගේම යහපත උදෙසාම වන්නට ඇති. ඔබේ සොයුරිය ගැන සිහිකැඳවීම ඔබටත් වේදනාගෙන දෙන බැව් මා දන්නවා මගේ දියණිය...


හිමක්ෂ මෙවැනි ද්‍රෝහිවීමක් සිදුකරනු ඇතැයි මා කිසිදා අපේක්ෂා කළේ නැහැ. මා හටද යම් වරදකාරී හැඟීමක් දැනෙනුයේ ඔහුගේ මෑණියන්ව මේ මාළිගය තුළදී ආරක්ෂා කිරීමට නොහැකි වූ නිසයි. කෙසේ වුවත්... ඒ දෙදෙනාම මගේම දරුවන්.. මහීධ්විකා.. ඇ‍ය මා කිසිදා නොදුටු මගේම දියණිය... ඔවුන්ව රාජකීය සුසාන භූමිය මිහිදන් කිරීම අත්‍යවශ්‍ය වූයේ ඒ නිසයි... මා දන්නවා එසේ සිදුකිරීම ගැන ඔබත් සැනසීමට පත්වන බව... ඔබට අවැසි වේලාවක දැන් ඔබේ සොයුරිය මුණ ගැසීමට යා හැකියි මහී.මා මෙතරම් සිත් වේදනා විඳ නැහැ කිසිදිනක...ඔබ මාළිගයේ නොමැතිව, කොහි සිටීදැයි නොදැන ගෙවූ ඒ දින කිහිපය... මගේ පුංචි මහීට කුමක් සිදුවූවාද කියා මා උමතුවෙන් සිටි කාලයක්.


මහී...මගේ දියණිය... ඔබව තවත් අනතුරේ හෙළිය නොහැකියි මා හට. මා දැන් බොහෝ මහලුයි. මා මෙලොවින් නික්ම යා යුත්තේ ඔබේ අනාගතය සුරක්ෂිත එකක් බැව් මගේ දෑසින්ම දුටු පසුවයි.. ඒ නිසා... ඒ නිසා මා ඔබෙන් ඉල්ලා සිටින්නෙ එක් දෙයක් පමණයි. ඔබ දැන් විවාහයට සූදානම් විය යුතුයි. රාජ්‍යයේ රජතුමා ලෙසත්, ඔබේ පියාණන් ලෙසත් එය මගේ වගකීමක්. ඔබේ විවාහයට සුදුසු කුමරෙකු තෝරාගැනීම වෙනුවෙන් ස්වයංවරයක් පැවැත්වෙනු ඇති. මේ වන විටත් විදේශ රාජ්‍යන් වල කුමාරවරු ඔබේ අත පතා හසුන්පත් මා වෙත එවා තිබෙනවා. ස්වයංවරයට ඔවුන් සියලුදෙනා සහභාගී වනු ඇති. ඉන් ඔබට වඩාත් සුදුසු මෙන්ම... මේ රාජ්‍යයේ කිරුළ දැරීමට සුදුසුම පුද්ගලයාව මවිසින් තෝරා දෙනු ඇති. ඔබේ මේ මහලු පියාණන්ව විශ්වාස කරන්න...


මේ සිදුවූ සියල්ල ඔබට දඩි කම්පන්යක් වන්නට ඇති. ඔබ පළමුව සම්පූර්ණ සුවය ලැබිය යුතුයි.. 


එනිසා ඔබට මසක කාලයක් තිබෙනවා විවාහයට සූදානම් වීමට. අදින් මසක් ගත වූ තැන ඔබේ ස්වයංවරය පැවැත්වෙනු ඇති...

මගේ දියණිය ඉක්මනින් සුවවී, මාළිගයේ පුරා ඇගේ පාසළඹේ හඬ රැව්දෙන අයුරු ඇසීමට මේ පියාණන් බලා සිටිනු ඇති...



හසුන කියවා අවසන් කළ මහීසේනා කුමරියට දිගු සුසුමක් හෙළුණේ නිතැතිනි. කුටියේ වා කවුළු තුළින් කුටියට පැමිණි මද සුළඟේ දැවටෙමින් සැලෙනා පහන් සිළු දෙස බලා සිටි ඈ පියාණන්ගේ ඉල්ලීම සිහිපත් කළාය.


ඈ පියාණන්ගේ ඉල්ලීම කෙසේ නම් ප්‍රතික්ෂේප කරන්නද ? ඉදින් ඇය නිසැකයෙන්ම ඊට එකඟ වනු ඇති.


එදිනෙන් මසක් ගතවූ තැන පැවැත්වෙන්නට නියමිත වූ මහීසේනා කුමාරිකාවගේ ස්වයංවරය වෙනුවෙන් පසුදින මුළු මාළිගාවම උද්යෝගී වන්නටත්, කැළඹෙන්නටත් වූයේ එනිසාවෙනි.



මතු සම්බන්ධයි...



*** 



හරි..එහෙනම්, දැන් හැමෝම ලෑස්ති වෙන්න අපේ කුමාරිකාවගේ ස්වයංවරය වෙනුවෙන්.


ඔව් ඔව්...මට වගේම කතාව කියවන ඔයාල හැමෝටමත් ආරාධනා පත්‍ර ලැබිලා තියෙන්නෙ.


 කොහෙන්ද ලැබුණේ කියලද අහන්නේ ? අහ්, මට ඒවා දුන්නේ ජොසොන් රාජ්‍යයෙන්. එහේ ඉඳන් මේ ස්වයංවරයට සහභාගී වන බිඩාම් උතුමාණන්ගේ පිරිසත් එක්ක අපිටත් යන්න පුළුවන්.


එන අය දැන්ම කමෙන්ට් එකකින් මා වෙත දන්වා සිටින්න හොඳේ...

 කීදෙනෙක් සහභාගි වෙනවද කියලා කලින් දන්වන්න ඕන ඒකයි.



හැබැයි ඉතින්... ඒක ප්‍රීතිදායක උත්සවයක් වෙයි කියලා වැඩි බලාපොරොත්තු තියාගන්න එපා... :))

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now