~ 21 ~

167 45 15
                                    


" ආහ්......."


මහීසේනා දෑස් විවර කළේ දැනුණ අධික වේදනාවත් සමඟය. අඩවන් දෑසෙන් දුටු දේ නිසා ඇගේ සිතැඟි ක්‍රියාත්මක වූයේ අඩපණව ඇති සිරුර නිසලවම තිබියදීය.


මා මේ කොහිද සිටින්නේ ? මේ ගුහාව... මෙය මා පෙර සිටි ගුහාව නොවෙයි. මා කෙසේද මෙතනට පැමිණියේ... යුවිධායු, ඔහු කොහිද ? මේ වේදනාව..තවත් නම් දරාගත් නොහැකියි... මියයාම සැපතක්.


ඈ නිවැරදිය. මේ ගුහාව පෙර කී එකට වඩා ඉඩකඩ සහිත වූත්, මනා වාතාශ්‍රයක් සහිත වූත් එකකි. ඈ ගුහාවේ වියළි පොළොව මත වැතිර සිටියේ හදවතත් , ළයත් අතර වූ දරුණු කැපුමකින් රුධිරය උතුරා යමින් තිබියදීය. ඇගේ ධවල පැහැ වස්ත්‍රය දැන් රුහිරු පැහැ ගෙන ඇත. ශ්වසනය කිරීමටද අපහසුවෙන් සිටි ඇයට එහිම වැතිර මරණය තමා රැගෙන යාමට පැමිණෙන තුරු බලා සිටිනු හැර කළ හැකි අන් කිසිවක් නොවීය.


සිදුවූ සියල්ල ඈට දැනුණේ බොඳවූ මතකයක් ලෙසිනි. යුවිධායුගේ සැලසුමට අනුව ඔවුන් පසුදා උදෑසනම මැරයන් ඔවුන් රැගෙන යාමට පැමිණි විට ඔවුන්ගෙන් පලා ආ අයුරුත්, දෙදෙනාගේ අත් යා කර දමා තිබූ බරැති විලංගුව නිසා ඔවුන් දෙදෙනාට දිව යාමට ඉතා අපහසු වූ බවත්, විලංගුවේ දම්වැල ගැටෙන හඬ නිසා මැරයන් ඔවුන් ගිය දිශාවේ ඔවුන් පසුපස හඹා ආ අයුරුත් ඇයට සිහි විය.


යුවිධායු තමාවත් ඇදගෙන දිව යද්දී ඔවුන් ඉදිරියට පැමිණි එක් මැරයෙකු දමා ගැසූ කිණිස්ස තම හදවතට නුදුරින් ළය පසාරු කරද්දී සියල්ල බොඳවී තමා ඇදවැටුණු බව පමණකි ඇගේ අවසන් මතකය වූයේ. තමා මෙහි පැමිණියේ කෙසේද. තමා සිටින්නේ කොහිද, යුවිධායුට කුමක් සිදුවුණිද, ඔහු පලා ගියාද, නැත්නම් මැරයන් විසින් ඔහුව අල්ලා ගනු ලැබුවාද යන මේ කිසිවක් නොදැන සිටි ඇය දැන සිටි එකම කරුණ නම් තමාට ජීවත් වීමට ඇත්තේ තව හෝරාවකටත් වඩා අඩු කාලයක් බවයි.


පෙර ඇගේ ළයෙහි වූ කිණිස්ස ඈ අසලම බිම තිබුණි. වියළි ගුහා පොළොව තෙත් කරමින් ඇගේ රුධිරය ගලා යමින් තිබුණි. ඈ අපහසුවෙන් තුවාලය දෙසට අත ගෙන යන්නට තැත් කළද ඇගේ අතෙහි වූ බරැති විලංගුව ඊට බාධාවක් විය. අපහසුවෙන් හිස හරවා එදෙස බැලූ ඇය දුටුවේ එහි දම්වැල මැඳින් කඩා දමා ඇති බවයි. එසේනම් යුවිධායු බේරී පලා ගොස් ඇත. එය සැනසීමකි. ඔහුව මරු කටටම රැගෙන යාමට සිදුවීම පිළිබඳව ඈ ගෙවුණු මුළු කාලය පුරාවටම කනස්සලු වූවාය.


ඇගේ හුස්ම ගැනීම එන්න එන්නම අක්‍රමවත් වූ අතර තුවාලයෙන් ගලා යාමට ඇගේ සිරුරේ තවත් රුධිරය නොතිබූ ලෙසකි. වරක් නැඟී සිටින්නට උත්සාහ කළ ඈ නැවතත් පොළොව දෙසට ඇදගනු ලැබිණි. හිස බිම ගැටී හටගත් වේදනාව පරයා ඇගේ තුවාලයෙන් නැගෙන වේදනාවත් , ඊටත් වඩා සිදුවූ සියල්ල නිසා රිදුම් දෙන හදවතෙන් නැගෙන වේදනාවත් නිසා අවසන් වරට ඇගේ මුවින් නික්මුණු කෙඳිරිය වේදනාවත්, ශෝකයත් මුසුවූ හදවත කම්පා කරවන්නක් විය.


අරුණාලෝකය තුරුපත් අතරින් පොළොව සිපගනිමින් පැවති ඒ මොහොතේ, සීහ වන මැද වූ ගුහාවක් තුළ, රුධිරයෙන් සැදි යහනාවක් මත වැතිර තිබූ මහීසේනා කුමාරිකාවගේ සිරුර එලෙස නිසල විය.




මතු සම්බන්ධයි ...




***



එහෙනම් යුවිධායු පැනලා ගිහිල්ලා... එදා බේරිලා යන්න සැලසුමක් කියලා මහීසේනාව එකඟ කරගෙන තියෙන්නෙ එයාව මරන්න ලේසිවෙන්න කරපු සැලසුමකටද එහෙනම් ?



‍යුවිධායු............  ඇයි නුඹ මෙහෙම කළේ ?


ඇයි ???

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now