~ 17 ~

192 50 9
                                    

" පලිගැනීමට හේතුවද විමසන්නේ නුඹ ? "


මහීසේනාගේ මුහුණ තමා දෙසට ඇදගෙන ඇගේ දෑස් තුළට එබීගෙන කෝපයෙන් මුර ගෑ හිමක්ෂගේ දෑසේ වූ කෝපාග්නිය මහීසේනාගේ දෑස්වල පරාවර්තනය වූ ලෙසකි.


" නුඹ.. නුඹ නිසයි මට මෙලොව සිටි වටිනාම පුද්ගලයා අහිමි වූයේ. නුඹේ මෑණියන් මියගියා කියා ඊට වගකිව යුතු මාද ? එවිට මා.. මෑණියන් මට බොහෝ සෙනෙහස දැක්වූවා. පියාණන් මට කෙදිනකවත් තමාගේ පුතුට මෙන් මට සැලකුවේ නැහැ. මට සිටි එකම සැනසීම මෑණියන් පමණයි. නුඹේ මෑණියන් මියගිය වහාම ඈ රජ මාළිගයට ගියේ ටික දවසකට නුඹව රැකබලාගැනීමට පමණයි කියායි මා සිතුවේ. නමුත්... එදායින් පසු ඈ කෙදිනකවත් නැවත පැමිණියේ නැහැ... අද වනතුරුත්. ඒ නුඹ නිසයි මහීසේනා ! නුඹයි මගේ මෑණියන්ගේ මිනීමරුවා ! "


අමිතසේනා දේවිය එදා මාළිගාවට ගියේ මහීසේනාව තම මාළිගයට ගෙන ගොස් එහිදී හදාවඩා ගැනීමට සිතාගෙනය. මන්ද එවිට පුංචි මහීසේනාට අයියණ්ඩියෙකුත්, හිමක්ෂ පුතුට පුංචි නැගණියෙකුත් ලැබෙන නිසා එය මහීගේ තනිය මකන්නට උදවු වේ යැයි එතුමිය සිතුවාය. නමුත් සීහසේන රජු කළ ඉල්ලීම... ඈට ඒ මාළිගයේ නවතින ලෙසත් , තම දියණියව එක් මොහොතකටවත් තමාගෙන් වෙන් නොකර ලෙසටත් කළ ඒ ඉල්ලීම ඈට ඉවත දැමිය නොහැකි විය. මහීසේනා නිසි වයසට පැමිණෙන තුරු මාළිගයේ නැවතීමට එතුමිය තීරණය කළේ ඒ නිසාය. සීහසේන රජු පැවසූ පරිදි ඈ හිමක්ෂවද රජ මාළිගාවට කැඳවාගෙන ආවාය.


හිමක්ෂ එහි පැමිණියේ රජ මාළිගාවක ජීවත් වීමට ලැබුණු අවස්ථාව ගැන සතුටු වෙමිනි. එහි සැමදා වාසය කරන්නට ඔහුට වුවමනා විය. නමුත් කල් ගතවත්ම, මේ තත්වය වෙනස් විය. තම මෑණියන් තමාට වඩා මහීසේනාට අවධානය යොමු කරන බවක් ඔහුට දැනුණි. ඔහුව මේ විසල් මාළිගය තුළ තනි වූ ලෙසකි ඔහුට දැනුණේ. මේ නිසාම ඔහු නැගණියව නුරුස්සන්නට විය. පුංචි හිත තුළ නැගණිය කෙරෙහි ඊර්ෂ්‍යාවක් හටගත් අතර, ඔහුගේ ස්වභාවය වඩ වඩාත් කලහකාරී වන්නට විය.


අමිතසේනා දේවියට භාර වී තිබුණේ විශාල වගකීමකි. මහීසේනා තම සොයුරියගේ දියණිය වූ අතර මේ රාජ්‍යයේ කුමාරිකාව විය. රජ පරම්පරාවේ පැවැත්ම ගෙනයාමටත්, මේ රාජ්‍යයේ අනාගත සිහසුන දරන උරුමකරුවෙකු බිහිකිරීමටත් මහීසේනාට සිදුවනු ඇත. එනිසා ඈව ආරක්ෂා කිරීම තම ප්‍රථම වගකීම වියයුතු බව එතුමිය සිතුවද, තම ආදරණීය පුතුව කිසිවිටෙකත් ඈ අමතක නොකළාය. ඔහුගේ ස්වභාවයේ යම් වෙනසක් දුටු මේ මෑණියන් තම පුතුට වඩ වඩාත් ළං වෙන්නට උත්සාහ කරත්ම, පුතණුවන් තමාගෙන් වඩ වඩාත් ඈත්වන බවකි ඇයට දැනුණේ.

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now