~ 22 ~

171 48 46
                                    

" ඔබට දැන් කෙසේද ? සුවයක් දැනෙනවද ? "

දෑස් විවර කළ ඇයට බොඳ වී පෙනුණේ ඇගේ මුහුණට එබී සිටින යුවිධායුවය. ඈ එලෙසම බලා සිටියේ සිදුවූයේ කුමක්දැයි සිහිපත් කරමිනි.

" ඔබතුමිය තෙදිනක්ම සිහිසුන්ව සිටියා. මා බියවූවේ ඔබතුමිය මියැදුනාවත්ද කියා. මට කමා කරන්න එලෙස පැවසුවාට. නමුත් මම ඔබතුමියව මෙහි තබා ගොස් වනයෙන් ඖෂධ වලට ගතහැකි පැලෑටි සොයාගෙන එන විට ඔබතුමිය මියගිහින් සිටි ලෙසකුයි පෙනුණේ. මා බොහෝ කලබල වූවා. මා දන්නා විදියට තුවාලය පිරිසිදු කර, බෙහෙත් සාදා එහි ගැල්වූවා. මා වෙදකමට නම් එතරම් දක්ෂ නැහැ. මට කළ හැකි වූයේ එපමණයි. මට බොහොම සතුටුයි ඔබතුමිය ජීවතුන් අතර සිටින නිසා "

එසේනම් ඔහු පලා ගොස් නැත. ඔහුට නැවත පැමිණීමට කිසිදු හේතුවක්ද නොතිබුණු නමුත් ඔහු නැවත පැමිණ ඇත. යුවිධායුගේ ප්‍රීතිය උතුරන දෑස් දෙස බලා සිටි මහීසේනාට සිතුණේ මරුවා අබියස සිටි තමාව නැවත ජීවත් කරවීමට තරම් ඔහුගේ වෙදකමත්, හෙදකමත් ඉවහල් වූ බවයි . මේ ඔහු ඇගේ ජීවිතය බේරාගත් දෙවන අවස්ථාව විය.

මහීසේනා නැගිට සිටීමට ගත් උත්සාහය ව්‍යර්ථව ගියේ තුවාලයෙන් නැගුණු අධික වේදනාව සමඟිනි. තුවාලය තදින් බැඳ දමා තිබුණේ ඖෂධ කාවැද්දීමටය. ඊට යොදාගෙන තිබුණු රෙදි කඩ යුවිධායු තම වස්ත්‍රයෙන් ඉරාගත්තකි. එක්වරම හටගත් වේදනාවත් සමඟම ක්ලාන්ත ගතියක් දැනුණු මහීසේනා ගුහා පොළොව මත ඇද නොවැටුණේ යුවිධායු විගස ඇයව අල්ලාගත් නිසාය.

මහීසේනා යුවිධායුගේ මුහුණ පැහැදිලිව දුටු ප්‍රථම අවස්ථාව මෙය විය. යුවිධායුගේ දෑත්වලට මැදිව සිටි ඇය එලෙසම සිටිමින් ඔහු දෙස බලා සිටියාය.

යුවිධායු සැබැවින්ම කඩවසම් විය. ඔහුගේ මුහුණෙහි වූ සියලු දාරයන් ඒ මුහුණෙහි වූ ප්‍රතාපවත් බව සලකුණු කරනු ලැබීය. ඔහුගේ ගැඹුරු දෑස් ආකර්ෂණීය වූවා පමණක් නොව, බුද්ධිමත් හා විචක්ෂණශීලීද විය. මුළු විශ්වයම එතුළ කැටිව ඇත්තාක් සේ පෙනුණු ගැඹුරු වූත්, මද දිලිසුමක් සහිත් වූත් අපූර්ව බැල්මක් යුවිධායු සතුවිය. මහීසේනා කුමරිය වේදනාව අමතක වූවාක් සේ යුවිධායු දෙස මදක් බලා සිටියේ ඒ බැල්මෙහි වූ ආකර්ෂණයට නතුවද, එසේත් නැතිනම් ඔහු පිළිබඳ යම් තොරතුරක් ඒ බැල්මෙන් උකහා ගැනීමටද යන්න නම් නිසැක නොවීය.

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now