~ 30 ~

170 47 33
                                    


මසක් ගතව ගොස් ඇත.



මහීසේනා කුමරිය පූර්ණ සුවය ලබා තිබුණි. හොඳින් විවේක ගැනීම නිසා ඈ නැවත පෙර සිටි මහී කුමරියම බවට පත්ව සිටි අතර ගෙවුනු කාලය තුළ තවත් රූමත් වී ඇති සෙයකි. ගෙවුණු කාලය තුළ ඇයට මාළිගයෙන් පිටවීම දැඩිව තහනම් කෙරුණු අතර ඇවිසින් ඒ අණ පිළිපදින බවට භද්‍රාගේ උකුසු ඇස් සැමවිටම වගබලා ගනු ලැබිණි. මාළිගයට වී පියාණන් සමඟ කාලය ගත කිරීමටත්, ධවල කාල සමඟ කතාබහ කරමින් සිටීමටත් ලැබුණු ඒ කාලය මහීසේනාට ඇගේ බියකරු මතකයන්ගෙන් මිදීමට ඇයට මහත් සේ ඉවහල් වූ බවක් පෙනුණි. සෑම දිනකම ඇය මහීධ්විකාගේ සුසානය බැලීමට ගිය අතර එහි හිඳිමින් මෑණියනුත් සොයුරියත් සමඟ සිතෙන් එක්වීමට ලැබීම ඇයට සතුටක් විය. ඔවුන් දෙදෙනා තමා හැරදමා මෙලොවින් නික්ම ගියද , තමාට මෙලොව පියාණන් සිටියා සේම මහීධ්විකාට එලොව මෑණියන් සිටිනවා නොවෙදැයි සිතා සිත සනසවා ගැනීමට ඈ ප්‍රයත්න කළාය.

මේ ගෙවෙනුයේ ඇගේ ස්වයංවරයට පෙර දින රාත්‍රියයි. මාළිගාවේ දක්ෂිණ ගොඩනැගිල්ලේ වූ සුවිසල් සඳළුතලයට සුපුරුදු පරිදි ඈ පැමිණ සිටියේ රාත්‍රී අහසේ සුන්දරත්වය විඳගැනීමටයි. එහි තනිව සිටීමට ප්‍රිය කළ මහීසේනාට අන් කවරදාකටවත් වඩා මෙකී රාත්‍රියේ තනිකම ඈ වෙළාගෙන ඇති ලෙසක් දැනුණි.

හෙට දිනයේ ඈ වෙනුවෙනුත්, මේ රාජ්‍ය වෙනුවෙනුත් සුදුසු කුමාරයෙකු පියාණන් විසින් තෝරාගනු ඇත. 

එලෙස තෝරාගැනීම සිදු කෙරුණු පසු තවත් නොබෝ දිනකින්ම ඇගේ සරණ මංගල්‍යයද පැවැත්වෙනු ඇත. දැනටමත් ඒ සඳහා කටයුතු සූදානම් කර අවසන්ය. මුළු මාළිගාවම සරසා තිබුණේ හෙටින් ඇරඹෙන උත්සව සමය වෙනුවෙන්මය. බොහෝ කලකට පසු මාළිගාවට උත්සවශ්‍රීයක් ආරූඪ වීමට හේතුව එදා මාළිගය පුරා කිරිකැටි සිනා පාමින්, කෙළිලොල් දඟකාරකම් වලින් යුතුව දිවගිය පුංචි මහී කුමරියගේ සරණ මංගල්‍යය වීමම කාලය මැවූවා වූ ඒ වෙනසක අරුමය පසක් කරලන්නට සමත් විය. මාළිගය තුළ පැවැති මේ උත්කර්ශවත් වාතාවරණය තුළ කනස්සල්ලෙන් පසුවූ යම් අයෙක් වෙත් නම්, ඒ අන් කිසිවකු නොව, මහීසේනා කුමරියම විය. ඊට හේතුව කුමක්දැයි යන්න ඇයවත් නොදැන සිටියා යයි ඈ සිතා සිටියා වුවද, ඇගේ හදවත ඇයටත් වසන් කළ යම් රහසක් තිබූ ලෙසකි.

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now