~ 18 ~

182 55 15
                                    

" මැය... එසේනම් නුඹයි අපට සැඟවී සිට ප්‍රහාර එල්ල කළේ . ඔව්, ඒ නුඹ තමයි "


යුවිධායු කෝපයෙන් පැවසූ අතර, වනයේදී පෙර දුටු පලායන රුව සිහිකළ මහීසේනාටද ඒ සිටියේ මැය බැව් නිසැක විය.


" හිමක්ෂ, මන්ද මැය මුව වසාගෙන සිටින්නේ? එමෙන්ම අනෙකාත් ? මොහු කවුද ? "


ඒ තැනැත්තිය ප්‍රශ්න කළ අතර, කුමාරයෙකු වූ හිමක්ෂට ඇවිසින් සමානයෙකු ලෙස ඇමතීම මහීසේනා මවිත කළද, හිමක්ෂ ඉන් කිපුණු බවක් නොපෙනුණි.


හිමක්ෂ යුවිධායු ගැන කිසිවක් නොදන්නා බවත්, ඈ සමඟ සිටි නිසා මැරයන් විසින් ඔහුවත් අල්ලාගත් බවත්, මහීසේනා මුව වසා සිටීමට හේතුව යැයි ඔහු පැවසූ අපලය පිළිබඳවත් පවසා සිටියේය.

" ඔබ එවන් මුසාවන්ටත් රැවටෙනවද හිමක්ෂ. ?? මැරය, වහා මොවුන්ගේ මුව නිරාවරණය කරනු ! " 


ඇගේ අණ ලැබුනු සැනින් එක් මැරයෙකු පැමිණ යුවිධායුගේත්, මහීසේනාගේත් මුව වැසූ රෙදිකඩවල් ඇද දැමුවේය. යුවිධායුත්, මහීසේනාත් එකිනෙකා දෙස බැලූ අතර, දෙදෙනාම පෙර සිතූ දේවල් නිවැරදි බැව් තහවුරු විය. නමුත් මෙය ඒ පිළිබඳව සිතීමට සුදුසු වෙලාව නොවීය.

" කෙසේද කුමරියනි, ඔබතුමියට ? සුවෙන් පසුවෙනවා වගෙයි "


ඈ මහීසේනා දෙස බලමින් උපහාසය පිරි හඬකින් ඇසුවාය.


" කුමක්ද මේ සියල්ලෙහි අරමුණ ? මට වහා පවසනු. කවුරුන්ද නුඹ ? මෙසේ කිරීමට හේතුව ? නුඹ දෙදෙනා එක්ව මේ කරන කුමන්ත්‍රණය කුමක් උදෙසාද ? වහා පැහැදිලි කරනු. "


" අපේ කුමරියට බොහෝ ප්‍රශ්න තිබෙන හැඩයි , නොවෙද හිමක්ෂ ? අපි ඇගේ ගැටලු සියල්ල එකවර නිරාකරණය කර දෙමුද ? අපට මේ රාජ්‍යයේ කුමාරිකාවගේ අණට පිටුපෑමට නොහැකියිනේ. කුමක්ද ඔබේ අදහස ? "


හිමක්ෂ කිසිවක් පැවසීමටත් පෙර සියලු දෙනා තිගැස්සී ගියේ යුවිධායු මහ හඬින් හුස්ම ඉහළට ඇදගත් හඬිනි. ඔහු මුව විවර කරගෙන මහීසේනා දෙස බලා සිටියත් කිසිවක් නොපැවසීය.


" මේ මුග්ධයාට කුමක් සිදුවෙලාද ? හොහෝ එහෙනම් ඔහු දැන්ද දැනගත්තේ මහීසේනා කුමාරිකාවක් බව? හහ්, එසේනම් නුඹ ඈ හා පලා යන්න එකඟ වුණේ ඒ බැව් නොදැනද ? නුඹත් ඈ ට රැවටුනා එසේනම්."


හිමක්ෂ උපහාසයෙන් යුවිධායුට එසේ පවසා අර තැනැත්තිය දෙසට හැරුණේ ඈට සමීප වෙමිනි.

අහ් ඔබ ඇසූ දේ පිළිබඳව නම් මගේ අදහස නම්... ඔබට කැමති දෙයක් සිදු කරන්න. සැමදා මා ඔබ සමඟ එකඟයි නොවෙද ? "


තරුණිය එක්වරම වියරු සිනහවක් නැගූ අතර එය සියල්ලන්ගේම කෂේරුව දිගේ සීතලක් දැනවීමට සමත්විය.


" එසේනම්... කුමරියනි, සූදානම් ද ඔබතුමිය මවිත වන්නට ? මැරය, ගිනිහුළ රැගෙන එනු ! "


එකෙණිහිම මැරයා ගිනිහුළ රැගෙනවිත් ඈ අසළින් සිටගත් අතර, එවිට මුලු ගුහාවම පෙරටත් වඩා හොඳින් අලෝකමත් වූ අතර නායකතුමිය නම් තැනැත්තියව වඩා හොඳින් දැකබලා ගත හැකිවිය.


" නුඹට අවැසි වූයේ මා කවුද කියාත් , මේ සියල්ලෙහි අරමුණ කුමක්ද කියාත් දැනගැනීමට නොවෙද මහීසේනා ??? එසේනම් දැනගනු දැන් . "


ඈ ඇගේ මුහුණ වසා සිටි රෙදිකඩ ඉවත් කළ අතර, මහීසේනාගේත් යුවිදායුගේත් මුව විවර වුයේ ඔවුන්ද නොදැනුවත්වමය.


ජීවිතයේ පෙර අත්නොවිඳි කම්පනයකට පත් මහීසේනා වික්ෂිප්තව බලා සිටියේ අන් කිසිවක් දෙස නොව, තමාගේම ප්‍රතිරූපය දෙසය .



මතු සම්බන්ධයි.




***



මං මුකුත් කියන්නේ නෑ නෑමයි.


ඔයාලම කියන්න :)


මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now