~ 25 ~

181 48 41
                                    


මහීසේනා සිටියේ හිමක්ෂ තමා ඉදිරියේම මියැදෙනු දැකීමෙන් කම්පනයටත් දැඩි ශෝකයටත් පත්ව ධවලකාලයන් තුරුළු කරගෙන බිම දණගසාගෙනය. හිමක්ෂ කෙමෙන් ඇද වැටෙනුත්, ඔහුගේ අවසන් සුසුම වා තලයට මුසුවන අයුරුත් බලා සිටීමට ඈට සිදුවිය. කුමක් සිදුකළද, තමාව මරාදමන්නට සැලසුම් කළද, හිමක්ෂ යනු ධවලකාල හැරුණු විට මහීසේනාට සිටි එකම සොහොයුරා විය. කුඩාකල ඔහු කෙරෙහි වූ සහෝදර ප්‍රේමය ඇගේ හදපත්ල තුළ තවමත් සුරක්ෂිතව පැවතියේ මහීසේනා යනු මහීධ්විකා මෙන් නොමිනිස් දියණියක් නොව, මිනිස්කමින් පිරි දියණියක් නිසාය.


හිමක්ෂ ඔහුගේ නැගණියට හොඳින් සැලකූවා නම්, ඇයට දයාබර අයියණ්ඩියක් වූවා නම් ඇගේ දිවියේ වූ පාළුව , තනිකම මකන්නට එය කෙතරම් නම් ඉවහල් වනු ඇතිද ? එසේ වූවා නම් ඇයට සියල්ල පැවසීමට, ඇයව රැකගැනීමට අයියණ්ඩියක් සිටිනු ඇත. එමෙන්ම එසේ වූවා නම්.. ඔහු මෙලෙස තම දෑස් ඉදිරියේ මියැදෙන අයුරු දරාගත නොහැකිව ඈද එහි මියැදීමට ඉඩ තිබුණි.


නමුදු කරුණු එලෙස සිදුවූයේ නැත. ඔහු තෝරාගනු ලැබුවේ අනෙක් නැගණියයි. මහීසේනාව නොව මහීධ්විකාවය. ඈව විශ්වාස කර සිහසුන ලබා ගැනීම සඳහා වූ බල ලෝභයෙන් දෑස් අන්ධවූ ඔහු මහීධ්විකා හා ආලයෙන්ද බැඳුනේ දෑස් අඳ කළ ආලයකිනි. නමුත් රමණය කෙරෙහි වූ ආලය අද ඔහුව මරණය කරා කැටුව ගිය අතර මෙලොව විශ්වාස කළ එකම තැනැත්තියගේ අණින්ම මිය යෑමට සිදුවීමට තරම් ඔහුගේ දෛවය කුරිරු විය.


නමුදු ඒ සියලු තෝරාගැනීම ඔහුගේම විය. සියල්ල තෝරාගත්තේ ඔහු විසින්මය.


හිමක්ෂගේ නිසල සිරුර ලෙස මහීධ්විකා බලා සිටියේ අවඥාවෙනි. ඇගේ දෑස් වලින් අඛණ්ඩව පැවසුණේ, නුඹ මාව විශ්වාස කළ තරමටම මාද නුඹව විශ්වාස කළ බව සිතීමට තරම් නුඹ අඥාන වූයේ කෙසේද යන පැනයයි.


තවත් නොබෝ වේලාවකින් තමාටත් මහීටත් එම ඉරණමම අත්විය හැකි බැව් වටහාගත් යුවිධායු පැන යාමට මගක් ඇතිදැයි ඔහුගේ තීක්ෂණ නෙතින් පිරික්සුවද මැරයන් ඔවුන්ව වටකරගෙන සිටියේ පලා යාමට කිසිදු ඉඩක් නොතබමිනි. මෙවර ඔවුන්ගේ පිරිස වැඩිවිය. හිමක්ෂ ඔහුගේ මුළු පිරිසම මේ සඳහා යොදවා ඇති ලෙසකි. නමුදු මියැදෙන ඔහුව බේරාගැනීමට ඒ කිසිවකුට අවැසි නොවීය. මැරයන්ව තම අණසකට යටත් කර ගැනීමට මහීධ්විකා ඔවුනට කිනම් පොරොන්දුවක් ලබාදෙන්නට ඇතිද ? හහ්, ඈ මහීසේනාගේ තැන ගත් පසු ඔවුන්ව රාජකීය සෙබළු බවට පත් කරන බවවත් පොරොන්දු වූවාද ?

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now