පස්වන සිහිනය 💭

389 48 47
                                    

හිරු කිරණ මීදුම් පටල ඉරා ගෙන කෙත්වතු හරහා වැටෙන යාමේ ගම්මානය මැදින් දුවගෙන ආපු පොඩි කොලු පැටියෙක්ගේ කකුල්, ඔහුවත් ඇදගෙන තකහනියේ දුවගෙන යද්දී ගස් කොළන් වල වහල හිටපු කුරුල්ලන් ලේනුන් පවා තම තමන්ගේ රාජකාරි මඳකට නවතා බලාගෙන හිටියේ දුවගෙන යන මේ පුංචි කුමාරයා කවුද කියලා වෙන්න ඕන....

කුඹුරු බිමට තරමක් ඈත පේන උස් බිමෙහි පිදුරු සෙවිලි කර තිබූ ගෙවල්වල යන්තම් දොර ජනෙල් ඇරෙන වෙලාවේ ගෙවල් හිමියො රාජකාරි වැඩට එළි බහින මොහොතක පුංචි කොල්ලෙක්නම් කලින්ම එළි බැහැලා තිබුණා...

දුවගෙන ආපු පුංචි කොල්ලගෙ කකුල් එකවර නතර වුණේ රූස්සෙට අතුපතර විහිදී ඉහළට එසවී තිබු ඇහැළ මල් ගහක් යටයි. ඈත කඳු පන්ති වලට ඉස්මත්තේ ඉඳන් හමා එන සුළං රැළිවල රැඳී ආවේ වන මං පෙත් වල මල් සුවඳ වෙද්දි සුළං රැල්ලේ දැවටී ආ මල් සුවඳ ලොකු හුස්මකින් ඉහළට ඇද ගත් පුංචි කොල්ලා ඇහැළ ගහ දිහා දිලිසෙන ඇස්වලින් බලාගෙන හිටියා...

මල් ගහ යට තණ පලසේ සිට ඇහැළ මල් ගහ දෙස ඇස් ඔසවා බලා සිටි කොලු පැටියා වෙත සුළං රැළි වැදී සෙලවුණ අතුපතර අස්සෙන් සුළගට ගසාගෙන ආ කහ පාටට හැඊ ගිය කොළ වැස්සක් වැටුණේ මල් හැදෙන කාලෙට විතරක් සීමා නොවී හැමදාමත් මෙන් ඇහැළ සෙවණ සොයාගෙන එන පුංචි කොල්ලව අදත් පිළිගන්නාක් මෙනි...

තණ මත රැදුණු පිනි බිංදු හිරු රැසින් වියළී යාමටත් මත්තෙන් තම අතෙහි රැදි පොතත් එක්කම පුංචි කොල්ලා තුරු සෙවණේ වාඩිවී දිග ඇර ගත්තු පොත නිවිසැනසිල්ලෙ කියවද්දී, බාධා කරන්න නම් කෙනෙක් ඒ අහලකවත් හිටියෙ නැති කොට පුංචි කොල්ලගෙ සිතත් පොත තුළම ගිලී යන්නට වුනා.....

: "කවුද උයා??"

වෙලාව ගත වී යනවත් එක්කම පොත ඇතුළෙ ගිලිලා හිටපු පුංචි කොල්ලාගේ අවධානේ බිදිලා ගියේ තමන්ට ලගින්ම ඇහුණ සිහින් කටහඬට... පොතේ ගිලිලා හිටපු නිසාම කවුරුවත් ලගටම එනවා නොදැක්ක පොඩි කොල්ලා පොතත් කියව කියව හිටපු විදියෙන්ම ඇස් උස්සලා බැලුවා... කලු පාට බෝල ඇස් දෙකක් දුඹුරුවන් සිහින් ඇස් දෙකක් එක්ක එකට යා වෙද්දි මොහොතකට මුලු පරිසරයම නිහඬ උනේ මේ ආත්මීය බැදීම ගැන ඔවුන් හොදින්ම දැනගෙන සිටි නිසා වෙන්න ඇති.....

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Where stories live. Discover now