අග්නි 12

1.7K 431 262
                                    

ගමනෙහි අඩකට වඩා ප්‍රමාණයක් වනාන්තරය හරහා විය . කෙසේ නමුත් , දැඩි හිරු රශ්මියෙහි කාර්යබහුල වෙළෙද වීදයක ගමන් කිරීමට වඩා තරමක බරැති මල්ලක් උසවාගෙන වුවද වනාන්තරයක ගමන් කිරීම අග්නිට අනුව සංසන්දනාත්මකව වාසි සහගත විය. අවම තරමේ හිරු රැසින් වන පීඩාව වනයෙහි නොමැති විය . මිගාර හා රුද්‍රද ඔහු හා පිළිසදරේ යෙදෙමින් ගමන් කල බැවින් අග්නිට වද වීමට කරුණක් නොතිබුණි . ඔහුගේ දෑස් මිධුනාථගේ පිටෙහි ඇති සම්බෑගය වෙත වරින්වර එල්ලවන්නේ තමාගේ අසිපත එ් තුල ඇති නිසාවෙන් වග ඔහු තමාටම පවසාගත්තේ ය.

නිසැකවම දිවා භෝජනය සදහා ඔවුන් වනගත මාර්ගය පසු කර ලගේල නගරය වෙත යා යුතු විය. ලගේල නගරය ග්‍රාමයත් පුරයත් අතර වූ නගරයක් වූයේ වෙයි. ලගේල නගරයේ සිට සප්තකන්‍යාව වෙත යාමට ඔවුන් අසුන් කුලියට ගත යුතු විය. ප්‍රථමයෙන් ඔවුන් කාම්භාර වෙළෙද වීදියෙන් අශ්වයන් ලබා ගැනීමට සිතා සිටියද , සුග්‍රීවගේ යෝජනාව වූයේ වනගත මාර්ගය පසු කිරීම අශ්වයන් නොමැතිව වඩාත් පහසු වනු ඇතිවගයි. භීෂ ප්‍රථමයෙන් එරෙහි වුවද මිධුනාථ හා ථිත ද සුග්‍රීව හා එකග වූ බැවින් නිහඩව ඔවුන්ව අනුගමනය කිරීමට ඔහුට සිදුවිය.

අග්නි , මිගාර හා රුද්‍ර තිදෙනා නඩයෙහි ඉදිරිපස වන කිසිදු දෙයක් නොදැනුවත් වූ  පසුපස සමාගම විය.

වනයෙහි නිතර මිනිසුන් ගමන් නොගන්නා හෙයින්  නිසිපරිදි පැහැදිළිව පෙනෙන මාර්ගයක් නොවීය . අවම වශයෙන් එහි සෑදි තිබූ අඩිපාර , වන හස්තියන්ගෙන් හෝ වනසතුන්ගෙන් ඇති වූවක් විය. විශාල සෙවණැති වෘක්ෂයන්ගෙන් හා යෝධ පුස්වැල්වලින් වනයම පාහේ ආක්‍රමණය කර තිබෙනු දක්නට හැකි විය. නිදහස් අතින් සිටි මිගාර ඔහු කඩාගත් හිඹොටු වල්ලෙන් ගෙඩියක්ද අග්නිගේද රුද්‍රගේ ද මුවට එබුවේ වරින් වර සිය මුවද පුරවා ගනිමිනි.

ප්‍රථමයෙන් කුඩා ග්‍රාමීය නිවාසයන් කිහිපයක් ඔවුන්ගේ නෙත ගැටෙන්නට විය. කෙමින් කෙමින් වනගත මාර්ගය කුඩා ගුරු පාරක් බවට පත් විය. වර්ණ ගැන්වීම්වලින් තොර මඩ පැහැ ගැන්වී තිබු එහෙත් පිරිසුදු රළු කපු වස්ත්‍රවලින් සැරසි දුගී ජනයා සිටි එකිනෙකට දුරින් පිහිටි පැල්පත් කිහිපයක් පසු කිරීමෙන් අනතුරුව ඔවුහු තරමක නාගරික ස්වභාවයක් ඉසිලූ ප්‍රදේශයක් වෙත පැමිණියෝ ය . එහි වු ශිලා ගාවුත කණුවෙහි , '' ලගේල නකර '' යනුවෙන් කොටා තිබෙනු දක්නට හැකි විය .

♛ අග්නි ♛Where stories live. Discover now