අග්නි 52

1.6K 397 302
                                    

අග්නි දින දෙකක් පුරාවට ස්තාලයේ පිදුරු අතර ශ්වසනය කළේ ය. තවත් හඩමින් සිටිනවා ද නැති ද යනවග හෝ සිතා ගැනීමට නොහැකි තරම් ඔහුගේ සිත ව්‍යාකුල විය .

ඔහු විශේෂ කිසිවක් නොසිතූ අතර බලාපොරොත්තු කිසිවක් නැතිවෙකු මෙන් පිදුරු ගොඩෙහි වැතිරී ස්තාල පියස්ස දෙස නෙත් යොමාගෙන ගත කළේ ය. ඔහු අාහාර ප්‍රතික්ෂේප නොකළේ ය .

ඛාදී දේවිය සෑම වේලක් සදහාම පිසෙන ආහාර ස්තාලය වෙතට ගෙනවිත් දීමට කාරුණික වූ අතර , අග්නි කිසිදු පැනයක් නොනගාම අහාර අනුභව කළේ ය. ඔහු ආහාරවල රසයන් පිළිබදව කිසිවක් නොසිතුවේ ය. ඔහු ඉතිරිව ඇති මසම සම්පූර්ණයෙන්ම ජීවත් වීමට අවැසි බැවින් පමණක් අහාර අනුභව කළේ ය.

ඔහු සම්පූර්ණ දිවාකාලයම සුවසේ සැතපුණු අතර රාත්‍රී කාලයේ විවිධ කරුණු සිතමින් කාලය වැය කළේ ය. ඉකුත් දෙදින පුරාවට ඔහු බොහෝ දේ සිතුවේ ය. ඔහු ආකාසයේ වූ තාරකා ගැනීමට උත්සහ කළේ ය. අනතුරුව අහස වසාගත් වළාකුළුවලට බැන වදිමින් එකී කාර්යය අතහැර දැමුවේ ය.

ප්‍රථමයෙන්ම බිහිවූ මිනිසා කෙලෙස සිතන්නට ඇත් දැයි සිතා බැලුවේ ය . ඔහු ආහාර ගත යුත්තේ මුවින් වග කෙලෙස හදුනාගත්තේ දැයි අග්නිට විශාල ගැටලුවක් විය. ආහාර මුවින් වෙනුවට සවනින් අනුභව කළ නොහැක්කේ මන්දැයි තමා මින් පෙර කල්පනා නොකළේ මන්දැයි අග්නි තමාගෙන්ම විමසුවේ ය. තම සිත තුළ මෙවැනි විකාර රූපි කරුණු තිබේ දැයි යනවගත් අග්නිට එක්තරා ආකාරයක විස්මයක් විය.

ඔහු සිය අසිපත වෙත බොහෝ කලකින් ආමන්ත්‍රණය කර බැලුවේ ය. අසිපත තමා හා උරණ නොවීම ඔහුගේ වාසනාව යැයි අග්නි තමා වෙතම පවසා ගත්තේ ය.

ඔහු , මිධුනාථගේ කිණිස්ස සහ අසිපත අතර කුඩා ද්වන්ධ යුද්ධයක් ද සංවිධානය කළේ ය. දටික කිණිස්ස නෙත ගැටෙන විට ද ඔහු තරමක කෝපයෙන් ඇවිළී ගිය ද ඔහු කිණිස්ස ඉවත නොදැමුවේ ය.

සිය මුහුණ පුරා පැතිරුණු දැලි රැවුල ඔහුට නොදැනුණු තරම් විය. මසක් තුළ කෙතරම් ප්‍රමාණයට සිය උඩු රැවුල වර්ධනය කරගත හැකිදැයි ඔහු තක්සේරු කර බැලුවේ ය. එය ඔහු බලාපොරොත්තු තරම් නොවූ බැවින් එය අතහැර දමා අශ්වයන් වෙත බ්‍රාහ්මීය හෝඩිය ඉගැන්වීමට වෙර දැරුවේ ය . නමුත් අග්නිට අනුව අශ්වයන් සියලු දෙනා නාහෙට කිසිවක් නාහන , අකීකරු , මිධුනාථ වැනිම දුෂ්ඨ උද්ධච්ඡ අශ්වයන් විය. ඉදින් අශ්වයන්ට ඉගැන්වීම ද අග්නි අතහැර දැමුවේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now