අග්නි 48

1.7K 407 312
                                    

අග්නිගේ ප්‍රහාරයන් අතිශයින් තියුණු වූ අතර , ඔහුට අනුව ඔහු කලකට පසුව සැබෑ සටනක විය . සිය ගෙල අසලින් වජ්‍රයක් සේ ගමන් කළ අසිපත මගහැරි අග්නි  සිය අසිපතින් පෙරළා ආගන්තුක පුද්ගලයා වෙත ප්‍රහාරයක් එල්ල කළේ ය. ඔහුගේ සටන් ශිල්පය ගිරි අසපුවේ වග අග්නි එවකටත් හදුනා ගෙන හමාර විය.

ආගන්තුක පුද්ගලයා සිය මුහුණ ආවරණ කරගෙන නොසිටිය ද අග්නි එකී පුද්ගලයා කිසිදු දිනෙක දැක තිබුණේ ද නැත . නිසැකවම ඔහු වනාහී ගිරි අසපුවෙහි ශිෂ්‍යයෙකු වග හදුනා ගැනීම ඔහුට අපහසු කාර්යයක් නොවී ය.  අග්නි සිය අසිපත සැඩපහරක් සේ වේගයෙන් මෙහෙය වූවේ ය. අග්නිගේ කායික සටන් හැකියා සියල්ලන්ටම වඩා ඉස්තරම්ම මට්ටමෙහි වූ අතර ඔහුගේ ප්‍රහාරයන් ද අනුකම්පා විරහිත විය. අග්නිගේ තියුණු දෑස ආගන්තුක පුද්ගලයාගේ අසිපත ලුහුබැන්දේ , අග්නිගේ අසිපතින් ඔහුට ප්‍රතිචාර දක්වන අතුරතුරේදී මය .

අග්නි සිය පාදය ආධාරයෙන් ඔහුගේ කලව වෙතට පහරක් එල්ල කළේ රෞද්‍රවයි . සතුරාව අඩ හෝරාවකට එක්තැන් කරන එය වාගිෂ්ඨ මුනි ඉගැන් වූ ඔහුට ආවේණික පහරක් වූ අතර , අනුර්ධ අසපුවෙහි මිධුනාථ අඩපණ කිරීමට අග්නි යොදාගත්තේ එකී නිල ප්‍රහාරය විය. නමුත් අවාසනාවකට මෙවර ඔහුගේ ප්‍රහාරය සාර්ථක නොවුණි . තමාගේ ප්‍රහාරය සාර්ථකව මගහැරි ආගන්තුක පුද්ගලයා මින් පසු සිය ප්‍රහාරය මග හැරීමට විශේෂ සැලකිල්ලක් දක්වන වග වැටහුණු අග්නි එකී ප්‍රහාරය නවතා දමා දිගින් දිගටම අසිපතින් ප්‍රහාර එල්ල කළේ ය. ඔහුගේ අසිපත් පහරකින් ආගන්තුක පුද්ගලයාගේ බදෙහි ගැඹුර කැපුමක් ඇති කළ අග්නි දෙවරක් නොසීතා ඔහුගේ මුහුණට සිය වැලමිට ආධාරයෙන් පහරක් ද එල්ල කළේ ය.

නමුත් ගිරි අසපුවෙහි සියල්ලන්ගේම දරාගැනීම සැබෑ ශිලා පර්වත මෙන් විය. ඔහු දත්මිට කාගනිමින් අග්නිගේ උරහිස වෙත සිය අසිපත් මිටින් පහරක් එල්ල කළේ ය. අග්නි සිය අසිපත ක්ෂණිකයෙන් අනෙක් හස්තයට මාරු කළේ අසිපත ගිලිහී යාම වැළැක්වීම සදහායි . අග්නි සිය දෑතම අසිපත සදහා හුරු කර ඇති වග ඉක්මනින්ම වටහා ගත් ආගන්තුක පුද්ගලයා අග්නි පසෙකට විසිව යන පරිදි අග්නිගේ පාදයේ යට කොටසට පා පහරක් එල්ල කළේ ය. අග්නි සිය සිරුරෙහි සමබරතාව සාර්ථකව රැක ගනිමින් පෙරළා පහර එල්ල කළේ ගිරි අසපු ශිෂ්‍යයා හට සිතීමට හෝ කාලය ලබා නොදෙමිනි .  අාගන්තුක පුද්ගලයාගේ දෑස් තමාට පිටුපසින් ඇති කුමකට හෝ යොමුවනු අග්නි දුටුව ද ඔහු ඒ පිළිබද අවධානයක් යොමු නොකර ඔහුව පසෙකට තල්ල කර දැමී ය.

♛ අග්නි ♛Where stories live. Discover now