අග්නි 36

1.7K 391 323
                                    

මිධුනාථ තමා කොහි ඇදගෙන පැමිණියේ දැයි අග්නිට නිශ්චිත නොවී ය. ඔහු හුදෙක් බිම ඇද නොවැටීම සදහා පොළොවෙහි වූ ගල් මග හරිමින් පැමිණියේ ය. උස් ගාවුත කණුවෙහි, පහන් ආලෝකය වැටී තිබුණ ද එකී ස්ථානය තවමත් අදුරු විය. ප්‍රිය සම්භාෂණ ශාලාව තුළ වූ මධුර සංගීතය ද තවමත් අග්නිගේ දෙසවනෙහි වැකිණ . මිධුනාථ ඔහුව ශිලා පවුරට හේත්තු කරනු ද අග්නිට දැනුණි . මිධුනාථගේ අසිපත නොමැති නිදහස් හස්තය අධාරයෙන් අග්නිගේ වම් පස ඉණ දැඩිව ග්‍රහණය කරගෙන සිටියේ අග්නිට සෙලවීමට හෝ නොහැකි අයුරිනි .

'' ම්ම්හ්.. '' අග්නිගේ මුව පස් පුරවා අවහිර කලාක් මෙන් ඉබේම වැසී ගොසින් තිබුණි . ඇරැත් ඔහු කිසිවක් පවසා ගැනීමට හැකි තරම් පියවි සිහියකින් නොවී ය.

මිධුනාථ තමාට වඩා උසින් වැඩි වූයේ කොයි මොහොතේ සිට දැයි අග්නිට නිශ්චිත නොවී ය.  මිධුනාථගේ පපුව වේගයෙන් උස්පහත් වූ අතර ,  මිධුනාථ මෙතරම් නොසන්සුන් ලෙස හැසිරෙනු අග්නි මින් පෙර දැක තිබුණේ නැත . කෙතරම් කෝප ගත්ත ද මිධුනාථ ඇතුළතින් සන්සුන් වූ අතර , වේගයෙන් හුස්ම ගැනීම කිසිදු විටෙක සිදු නොකළේ ය. අග්නි හිස ඔසවා මිධුනාථ දෙස බැලුවේ ය. ඔහුගේ දෑස් අඩවන්ව තිබූ අතර , පොළොවට ලම්භක වනසේ අග්නිගේ නිකට වෙතට එල්ල වී තිබුණි . මිධුනාථගේ හා අග්නි අතර වූයේ ආංගුල කිහිපයක් වෙනසක් වූ අතර ඔහුගේ උණුසුම් හුස්ම ද සිය මුහුණෙහි වේගයෙන් වදිනු අග්නිට දැනුණි . අවට වටපිටාව කෙතරම් සිසිලසකින් යුතු වුව ද මිධුනාථ දහදියෙන් නැහැවී ගොස් තිබු අතර ඔහුගේ දහදියෙන් තෙමී ගිය පුළුල් නළල් තලය තමාගේ නළලහි වැදී නොවැදෙනු අග්නිට දැනුණි .

පහන් ආලෝකය මිධුනාථගේ මුහුණෙහි අර්ධයක් පමණක් එළිය කළේ ය . මිධුනාථගේ වේගයෙන් හුස්ම ගැනීම බෝවන රෝගයක් යැයි අග්නි සැක කළේ ය. තමාගේද හුස්ම ගැනීමේ වේගය සැලකිය යුතු ලෙස ඉහළ ගොසින් ඇති වග අග්නිට වැටහුණි . ඔහු කිසිවක් ප්‍රශ්න නොකළේ ය. ප්‍රශ්න කිරිමට මුව විවර කිරීමට නොහැකි තරම් අග්නි කම්පනයට පත්ව සිටියේ ය.

අග්නි වනාහී සියලු දෙනාට අණ දෙන  පරිසරයක ජීවත් විය. ධීර හෝ භාසු කිසිවිටෙක ඔහුගේ අණ කිරීම්  පෙරළා ප්‍රශ්නයට නොනැගු අතර , ගිරි අසපුවේ පවා සියලු දෙනා ඔහුට බිය මුසු ගෞරවයක් දැක්වී ය. වෙනත් අයෙකුගේ අණසකට යටත්ව සිටීම ඔහුට කොතරම් නුපුරුදු හා නොරිස්සුම් සහගත වුව ද , එවැනි කිසිවක් මේ මොහොතේ අග්නිගේ සිහියට නොනැගුණි . මිධුනාථ මෙලෙස තමාව සිර කරගෙන සිටීම අග්නිට කිසිදු ගැටලුවක් නොවී ය. ඔහු කිසිවක්ම නොවිමසූ අතර මිධුනාථ පවා කෝපයෙන් බැන වැදුණේ ද නැත . මිධුනාථ හුස්ම ගන්නා හඩ හැර අන් කිසිවක් අග්නිට ඇසුණේ ද නැත .

♛ අග්නි ♛Where stories live. Discover now