අග්නි 54

1.4K 381 133
                                    

අග්නි , දිනය රාත්‍රීය ගෙවෙනු බලා සිටියේ ය. සිය අවසන් බලාපොරොත්තුව තවමත් ඔහුගේ සිත තුළ වූ අතර ඔහු එය මදකුදු අත්හැර නොගත්තේ ය. ඔහු ඇසළ අංගනයෙහි ශිලා අසුන මත අසුන් ගෙන දෑස් පිවිසුම් දොරටුව දෙස යොමාගෙන දිවා කාලය ගෙවා දැමුවේ ය.

වෛශව අසපු ද්වාරය අසල වූ විශාල පළු ගස මතට වී නිදිමරමින් රාත්‍රී කාලය ගෙවා දැමුවේ ය. ඔහු සිත තුළ වූ සියලු මතක , අවසන් වරට කලබලයකින් තොරව සිහි කළේ ය. ඔහු ධීර හෝ භාසු මුණ ගැසීමට ද නොගියේ ය. ඔවුන්ට කිසිවක් සිදු කරන ලෙස උපදෙස් ද ලබා නුදුන්නේ ය.

ඔහුගේ විඩාබර දැස්වලට දැකීමට අවැසි වූ එකම දෙය මිධුනාථ පමණක් විය. දෙසවන්වල  පතිත වීමට අවැසි වූ එකම වදන මිධුනාථගේ '' අඥානයා '' පමණක් විය. ඔහුට සීතල නැති කරගැනීමට අවශ්‍ය වූ එකම දෙය ගින්දර නොව මිධුනාථගේ උණුසුම පමණක් විය.

ඔහුට ශේෂ වූයේ තව දෙදිනක් පමණක් විය.
හේ හුදෙක් එක් වරක් , අවසන් වරට මිධුනාථ දැකීමට බලාපොරොත්තුවෙන් මග බලා සිටියේ ය.

දිවා කාලය ගතව යනු අග්නි බලා සිටියේ ය. අද දින ගෙවී ගියහොත් ඔහුට ශේෂ වන්නේ හෙට දින පමණක් විය. අග්නි කිණිස්ස දෙස දැඩි බලාපොරොත්තු සහගත බැල්මක් හෙළුවේ ය. ඔහු එය වෙත රැව්වේ ය.
සියල්ල මෙසේ සිදු වේ යැයි ඔහු කෙලෙසකවත් අනුමාන නොකළේ ය. මිධුනාථ සැබවින්ම නොපැමිණේවි යැයි ඔහු නොසිතුවේ ය.

'' අග්නිඊඊඊ.. '' මහීධගේ හඩට අග්නිගේ සිතිවිලි බිදී ගියේ ය. මහීධ එවර දුවවිත් අවසරයකින් තොරවම අග්නිගේ උකුලට පැන්නේ ය.

'' යන්න එපා.. යන්නෙපා.. ම්හ්.... ම්හි...  '' ඔහු හඩමින් පැවසුවේ ය. කව්රුන් හෝ මහීධ වෙත තමා පිළිබද පවසා ඇති වග පවසා ගැනීම අග්නිට අපහසු නොවුණි . ඔහු මෘදුව මහීධගේ හිස පිරිමැද්දේ ය.

'' සුග්‍රීව අය්යණ්ඩි , ථිත අය්යණ්ඩි හා පැවසු දේ අසත්‍ය නොවේ ද ?  මා ඔහු සමග උරණයි එවැනි දේ පවසනවාට.. ම්හි... ම්හි.....'' මහීධ කෝපාන්විතව පැවසුවේ අග්නි වෙත තුරුළුව ඔහුව වැළදගනිමිනි.

'' අඥාන අනුරුව.. වැඩිහිටියන්ගේ කතාවලට සවන් දුන්නා ද ? '' අග්නි මෘදුව විමසුවේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now