👑🌺 කිරුළ 22 🌺👑

548 111 57
                                    

"කෙනුලො...ඔය රෑ වෙද්දි නාලා හීතලේ ඉන්නෙ ගෙට වරෙන් බං.. කහට එකක්වත් බීපන් ඇඟ රත්වෙන්න.."

"එන්නම් වක්කරන්නකෝ.."

හවස 6ත් පහු වෙද්දි බැරල් එකෙන්ම නාගෙන ගේ වටෙන් ඉස්සරහා මිදුලට ආපු මං තද නිල්පාට ටවල් එකෙන් ඔළුවත් පිහන ගමන් අලුතෙන් පොල් අතු වහපු ගේ දිහා බල බල ඉද්දි අම්මා ඇවිත් තේ බොන්න කතා කරලා ආපහු ගෙට ගියා..

අද ඇවිත් නොවැම්බර් මාසෙ පළවැනි සෙනසුරාදා...පරක්කු වෙලා පටන් ගත්ත නිසාදෝ මේ පාර වැස්ස හොඳටම සැරයි..සති දෙකකට කලින් දවසක,බාප්පගෙනුත් වහන් වෙලා, සර් දීලා ගිය සල්ලි වලින් ගාණක් අරන් පොල් අතු ගෙනත් දාලා..පහුවදාම ගෙට පොල් අතු බඳින්න ගත්තත් එදාම වැස්ස ආපු නිසා අතු 10ක්වත් වහගන්න බැරි උණා....වහළට පොල් අතු බැඳිල්ල ආවට ගියාට කරන්නත් බෑ.. පලපුරුද්ද තියෙන්න ඕනා...ඒනිසා දවසේ පඩියට දෙන්නෙක් ගෙන්නා ගත්තත් ඒ මිනිස්සුත් හරවලා යවන්න උණා..එදා ඉඳන් සති 2ක් තිස්සේ වැස්ස..මේ වහිනවා..මේ පායනවා..ගේ අස්සෙ පුළුවන් කමකට උන්නා නොවෙද්දී... පායන පාටක් නැති තැන අම්මයි මායි පුළුවන් හැටියට පායපු වෙලාවට පහල බිත්ති කෑලි ටිකනම් වහගත්තා..

පොල් අතු ටික තෙමිලා වේයො ගහලා බිමටම දිරලා යයි කියලා බයේ,අද උදේ වැහි අඳුර එල්ලී එල්ලී තියෙද්දීම වහලේ වහන්න පටන් ගත්තෙ වැස්ස ගැන විස්වාසයක් නැතිව..පුදුමෙට අද කියපු පමණින් බාප්පත් සිහිකල්පනා ඇතිව කෙලින් කටින් හිටගෙන උදව් කරන්න නැවතිද්දී..තව දෙතුන් දෙනෙකුත් එද්දී අත් උදව්වට බාප්පයි මායි එක්ක ගමරාළ සියාත් හිටපු නිසා වැඩේ කොහොමහරි ඉක්මන් කරගත්තා...අනුමිත් උදව්වට ඇවිත් අම්මට කෑම හදන්නයි පොඩි එකිව බලාගන්නයි උදව් කරන ගමන් පුළුවන් හැටියට අම්මා එක්ක අත් උදව් දෙන්නත් ආපු නිසා යාන්තං ඔට්ටු වෙලා අඳුරත් වැටීගෙන එද්දී පොල් අතු ටික බැඳගෙන අලුතින් ගෙනාපු තහඩු කෑලි ටිකත් කුසියේ තිබුණ තහඩු උඩින්ම වහලා ඉවර කරගන්න පුළුවන් වෙද්දි මට දැනුණේ පුදුම සැනසීමක්...

ආයි ඉතිං යාන්තං තව අවුරුදු 5කට විතර බයක් නෑ.. අවුරුදු 5ක් කියන්නෙත් ලොකු කාලයක් නේ... ඒ වෙද්දි අපි කොහොම කොතැන මොනා කර කර ඉදීද කවුද දන්නෙ...එක අතකට ඉතිං උපන් දා ඉඳන් අවුරුදු 20ක් කිට්ටු වෙනකං මේ පොල් අතු අස්සෙ ගෙවුණ ජීවිතේ අමුතුවෙන් මොන වෙනසක් වෙන්නද...ලොකු දේවල් ඕනා නෑ යාන්තං කාලා ඇඳලා,ගෙදර මිනිස්සුන්ට දුක් විදින්න නොදී සලකන් ඉන්න පුළුවන් විදිහෙ ජොබ් කට්ටක් සෙට් කරගෙන නොතෙමි ඉන්න කාමර කෑලි දෙකක් හදාගන්න තිබුණා නම් හොඳටම ඇති..

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now