මධ්‍යම රාත්‍රීයේදි මම අවදි වූයේ කැස්සක හඬක් ඇසීමෙනි. දෑස්වල වූ නිදිමත ඇඟිලි තුඩු වලින් යවා ගැනීමට උත්සාහා දරමින් මම ඇඳ මත හිඳ ගත්තෙමි. කැස්සේ හඬ ඇසෙමින් තිබුණේ යෙහෙනිගේ කාමරයෙන් නොවීම යන්න මගේ නිදිමත පලවා හැරීමට සමත් වූ අතර මම වහා ඇඳෙන් බැස කාමරයෙන් පිටතට පැමිණියෙමි.
'නංගි?' මම ඇගේ කාමරයට හිස පොවා බැලුවේ ඇය එහි නොසිටිනා බව මම දන්නා බව මොහොතකට අමතක කරමිනි.
ඇගේ කාමරයේ ඇය නොමැති බව නැවත වරක් තහවුරු කරගත් මම මුළුතැන්ගෙයට ඇවිද ගියේ ඇය සිටීදැයි පරීක්ෂා කිරීමටයි. මුළුතැන්ගෙය අඳුරින් පිරී තිබුණු මුත් මට ශීතකරණය හා බිත්තිය අතර හිදැසෙහි සුදු පැහැයෙන් යමක් දැකිය හැකි විය. මුළුතැන්ගෙයෙහි විදුලි බල්බය දල්වා ලූ මට දැක ගත හැකි වුණේ එම හිදැස අතර ගුලි වී සිටිය යෙහෙනිවයි. ඇගේ සුදු පැහැ කොට කලිසම පමණක් කැපී පෙනුණු අතර අවුල්ව ගිය කෙස් කළඹ හේතුවෙන් ඇගේ දෑත් හා මුහුණ වැසී තිබිණි.
'නංගි?' මම ඇය අසලට ගොස් එතැන උක්කුටියෙන් හිඳගත්තෙමි. ඇය කිසිවක් නොකියූ අතර මොහොතකින් මට දැක ගත හැකි වූයේ ඇය වෙව්ලමින් සිටිනා ආකාරයයි.
'සී.. සීතලයි...' ඇය යන්තමින් මතුරනු මට ඇසිණි.
'මොකද මෙතනට වෙලා කරන්නේ?' මම මෝඩයෙකු ලෙස විමසුවද ඉන්පසුව මට පැහැදිළි වූයේ ශීතකරණය රත් වීමෙන් ඇති වූ උණුසුම හේතුවෙන් ඇය එතැනට වී ගුලිව සිටිනා බවයි.
'යමු ඇඳට... මම ඇගේ අතකින් අල්ලා ඇයව එසවීමට තැත් කළෙමි. ඇගේ මුළු සිරුරම ගල් වී තිබුණු ආකාරයක් මට දැනුණු අතර ඇය සෙලවීමද ප්‍රතික්ෂේප කර සිටියාය. මම ඇයට නැඹුරු වී ඇගේ දෙදණ යටින් දෑත් යවා ඇයව ඔසවා ගත්තෙමි. යෙහෙනි ඇගේ දෑත් මෘදු ලෙස මගේ දෙවුර වටා යවා මගේ සිරුරට තද වූවාය.
ඇගේ කාමරයට සෙමෙන් පිය නැගූ මම ඇගේ ඇඳ මතින් ඇයව තබා ඇගේ මුහුණට වැටී තිබූ හිසකෙස් ඇඟිලි තුඩුවලින් ඉවත් කළෙමි. යෙහෙනිගේ මුහුණ සුදුමැළි වී තිබුණු අතර දෑස් අඩවන් වී තිබුණේ ඇය මියයාමට ළංව සිටි ආකාරයෙනි. සුසුමක් හෙළූ මම පොරවනය ගෙන ඇගේ සිරුර වැසෙන සේ පොරවාලූයෙමි.
YOU ARE READING
කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]
Non-Fiction'ඔයා හැමදාම නංගි ගැනම බල බල හිටියොත් ඔයාට බඳින්න කෙල්ලෙක්වත් නැති වෙයි මිනිරු.' සහේෂ්ගේ වදන් මගේ හදවත පසාරු කරගෙන යන්නාක් වැනිය. 'මට කෙල්ලෙක් එපා. මට නංගිව වටිනවා.' මම කීවේ සහේෂ්ගේ අතේ තිබුණු වතුරු වීදුරුව දෙසට බැල්මක් හෙළමිනි. 'උඹට මං ඉන්නවා මොක නැ...