කඳුළැලි - 44

951 251 64
                                    

යෙහෙනි සමගින් නැවතත් නිවසට ගිය පසුව මට දැනුණේ මම මළ සිරුරක් සමගින් ජීවත් වන ආකාරයකි. ඇය කතා බහ නොකළාය. සාමාන්‍ය පරිදි විහිළු තහළු කිරීම ඇගෙන් ඈත්ව ගොස් තිබුණු අතර ඇය දිනය පුරාම සිටියේ හිස් බැල්මකින් කොහේ හෝ ඈතක් දෙස බලා ගෙනය. යෙහෙනි ආහාර ගැනීම පවා නතර කර තිබූ හෙයින් මට රාජකාරී සඳහාවත් හිත නිදහසේ නිවසින් පිටතට යෑමට ලැබුණේ නැත. තාත්තාගේ ව්‍යාපාරය මගේ නොසැළකිල්ල නිසා කඩා වැටුණහොතින් යෙහෙනිත් මාත් දෙදෙනාම අනාථ වන බව මම දැන සිටියෙමි. ඒ ඔස්සේ එයට පිළියමක් කල්පනා කරමින් සිටියදී මට එක්වරම සිහියට නැගුණේ මීට වසර හයකට පමණ පෙර පැමිණි යෙහෙනිගේ සැබෑ මවයි. ඇගේ දුරකථන අංකයක් සොයා ගතහොතින් මට ඇයට යෙහෙනිව බාර දීමට හැකි වෙන බව කල්පනා වූයෙන් මම ශනල්කගේ පරණ දින පොත් හාරා අවුස්සන්නට වූයෙමි. 

ඔහුගේ දින‌පොත් කියවද්දී මගේ හිස කැරකැවෙන්නාක් මෙන් මට දැනුණේ ඔහු ලියා තිබූ දේවල් බොහෝමයක් මට ඔහුගේ සිනහව සිහි කළ බැවිනි. ඔහු විඳ තිබූ දුක් කන්දරාව කෙතරම්ද වුවත් ඔහු පාසලේ සිටියේ පැය විසි හතරම සිනහවක් මුව රඳවාගෙනයි. යෙහෙනිට කුඩා කළ පටන් සිදුව තිබූ අතවර පිළිබඳ ශනල්කගේ කෝණයෙන් කියවද්දී මට මෙහන්සා සිහියට නැගීම නවතා ගත නොහැකි විය. කෙසේ මුත් ශනල්ක මට වඩා හොඳ සැලකිළිමත් සහෝදරයෙකුව සිටි බවට සැක නැත. ඔහු වසර විසි එකක් පුරාවට යෙහෙනිව ජීවත් කරවීමට සමත් වී තිබිණි. මට එය කළ නොහැකි වූයේ කුමක් නිසාදැයි මම නැවතත් කල්පනා කරන්නට පෙළඹුනේ අපි දෙදෙනාම සමාන කාල සීමාවන් පසු කර තිබූ බැවිනි. 

'‍ඔයා මොකද කරන්නේ?' මගේ පසුපසින් යෙහෙනිගේ වියැලුණු කටහඬ ඇසුණු විට මම වහා දිනපොත වසා දමා ඇය දෙස බැලුවෙමි. 

ඇගේ දෑස් මළානිකව ගොස් තිබුණද ඇය මා දෙස බලා සිටියේ රැවීමකින් යුතුවයි.

'මු.. මුකුත් නෑ. මම මේ බඩුවක් හෙව්වා.' මම පිළිතුරු දුන්නෙමි.

'අයියගේ පරණ දිනපොත් කියවලා ඔයා මොනවද හොයන්නේ?' ඇය මගේ පසෙකින් හිඳගෙන ශනල්කගේ දිනපොත් ඇගේ උකුළ මතින් තබාගත්තාය. මම කිසිවක් නොකියා ඇය දෙස බලා සිටියෙමි.

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now