කඳුළැලි - 56

441 134 59
                                    

'අම්මේ...' මිරේෂ් ඔහුගේ සිංහල පොත මගේ පසෙකින් තබා මගේ අනික් පසින් හිඳ ගත්තේය. මම මසමින් සිටි රෙද්ද මේසයේ පසෙකින් තබා ඔහු දෙස බැලුවෙමි.

'මොකක්ද ප්‍රශ්නේ?' මම ඔහුගේ සිංහල පොත දෙස බැලුවෙමි. මිරේෂ්ගේ අකුරු යෙහෙනිගේ මෙන්ම අපිළිවෙල වූ නමුත් යෙහෙනි ‌මෙන්ම ඔහුද පොත් පත් හොඳින් පවත්වාගෙන ගියේය. 

'අම්මේ පරිසරයට කියනවා ගස් වලට පණ තියෙනවා කියලා. සිංහල වල කියනවා ගස් කියන්නේ අප්‍රාණවාචී දෙයක් කියලා. මේක මට දැවෙන ප්‍රශ්නයක් අම්මේ.' ඔහු තොල් පෙරළාගෙන පැවසූ ආකාරයට මට සිනහව නතර කර ගැනීමට නොහැකි විය.

'මෙහෙමයි. ඒක විදි දෙකක්නේ බබා.' මම ඔහුට පැවසුවෙමි. මිරේෂ් මා කී දේ නෑසුණාක් මෙන් ඔහුගේ පොතේ වගුවක් සම්පූර්ණ කරන්නට ‌විය. විහන්‍යා සවස් කාලයේ පැසිපන්දු පුහුණුවීම් සඳහා ගොස් සිටි අතර මිරේෂ් හා මා පමණකි නිවසේ සිටියේ.

'අම්මේ අද අපිට අළුත් සර් කෙනෙක් ආවා ගණන් වලට.' මිරේෂ් පැන්සලේ තුඩ මගේ අතට තද කරමින් පැවසූ විට මම ඔහු දෙස බලා සිටියෙමි.

'හොඳට උගන්නනවද?' 

'අනේ මන්දා අම්මේ. එයා මං දිහා ගොඩක් වෙලා බලන් ඉඳලා මිනිරු වගේමයි කියලා කිව්වා. මම හිතන්නේ එයාට අම්මගේ නමේ අකුරු දෙකක් වැරදෙන්න ඇති.' මිරේෂ් සුරතල් ලෙස පවසද්දී මම තිගැස්සුණෙමි.

මගේ පරණ අතීතය දැන සිටි අයෙකු මිරේෂ්ව හඳුනාගෙන ඇති බව මට වටහා ගැනීමට හැකි වුවද මට ඒ කවුදැයි සිතා ගත නොහැකි විය. 

'මොකක්ද පුතේ සර්ගේ නම?' මම සාමාන්‍ය ලෙසින් විමසා සිටියේ මගේ හඬේ තිබූ වෙව්ලීම සඟවා ගැනීමට තැත් කරනා අතරේමයි. 

'සහේෂ්. සර් කිව්වා මිරේෂ් කියන නම සර්ගේ නම වගේමයි කියලා.' 

මගේ මුළු සිරුරම වෙව්ලා යන ආකාරය මට දැනිණි. සහේෂ් නැවතත් මගේ ජීවිතයට පැමිණ ඇති බව වටහා ගැනීමට මට ගත වූයේ තප්පර කිහිපයක් පමණකි. මම අතේ තිබූ මැහුම තදින් මිරිකාගෙන මිරේෂ්ගේ සිංහල පොත දෙස බලා සිටියෙමි. 

'අම්මේ?' මිරේෂ් මගේ අතකට තට්ටු කරද්දී මම ඔහු දෙස බැලුවෙමි. 

'ම්ම්?' 

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now