කඳුළැලි - 51

970 235 84
                                    

දෙවන දරු ප්‍රසූතිය සඳහා යෙහෙනිව රෝහල් ගත කළේ නියමිත දිනට දින තුනකට පෙරයි. ඒ දින තුනම මම නිදි නොමැතිව ඇගේ එහා පසට වී රෝහලේ කාලය ගත කළෙමි. යෙහෙනිට විටින් විට ඇති වූ වේදනාවට අමතරව වෛද්‍යවරයා කියා සිටියේ ඇගේ දරුවන් දෙදෙනාම නීරෝගීව කුස තුල සිටින බවයි. යෙහෙනි කෙතරම් ශක්තිමත් ලෙස සිටීමට තැත් කළද පෙර මෙන්ම දරුවා නැති වේවි යන බිය ඇගේ සිතේ තිබූ බව මට පැහැදිළිව දැකිය හැකි විය.

'මේ සැරේ මුකුත් වෙන්නේ නෑ යෙශ්.' මම ඇගේ හිස අතගෑවෙමි. යෙහෙනි සැනසීමට පත් සිනහවකින් මට සංග්‍රහ කළාය.

'මමත් ප්‍රාර්ථනා කරනවා කලින් වගේ දෙයක් නොවී තියෙයි කියලා.' ඇය සෙමෙන් වචන පිට කළාය. 

'කන්න මොනවා හරි ඕනද?' මම ඇගෙන් විමසුවෙමි. කීමට කිසිවක් නැති වනවාට වඩා පලක් නැති ප්‍රශ්නයකින් සංග්‍රහ කිරීම පවා වටින්නේය යැයි සිතුවිල්ල මට පහළ වුණේ මම යමක් කී විට යෙහෙනි එයට අවධානය යොමු කළ නිසයි. ඇගේ අවධානය වෙනතකට යොමු කිරීමෙන් ඇගේ බිය නැති වේවි යැයි මම කල්පනා කළෙමි.

'මට ඇපල් ගෙඩියක් ඕන. කොල ඇපල් ගෙඩියක්.' ඇය කී විට මම ලාච්චුවේ තිබූ පලතුරු බෑගය ඇදගෙන කොල ඇපල් ගෙඩියක් සෝදා එය දෙකට කපා ඇයට දුන්නෙමි. යෙහෙනි  ඇපල් කැබැල්ල දත් වලින් හාරන්නට වූයේ කජු ඇටයක් සමු වූ ලේන් පැටියෙකු විලසයි.

එදා රාත්‍රියේද මම ඇගේ ඇඳ මතින් හිස තබාගෙන පුටුව මතම නින්දට වැටුණෙමි. මහ රාත්‍රියේ මම අවදි වූයේ යෙහෙනි හඬන ශබ්දය ඇසීමෙනුයි.

'යෙශ්?' මම නිදිමතෙන්ම ඇගෙන් ප්‍රශ්න කළෙමි.

'රිදෙනවා.' ඇය නැවත වතාවක් හඬන්නට වූ අතර යන්තමින් සිදුවන දෙය කුමක්දැයි වටහා ගත් මම වහා රෝහල් කාමරයෙන් පිටතට ගොස් හෙදියකට කතා කළෙමි.

මෙවරද පළමු වතාවේ මෙන් මා දොරින් එළියට විසි කොට දොර වැසිණි. යෙහෙනිගේ විලාපය පමණක් රෝහල් බිත්ති වලින් මට ඇසෙද්දී මම ජනේලයේ අපහැදිළි වීදුරුවෙන් ඇය දෙස බැලීමට උත්සාහා කළෙමි. 

මෙවර ප්‍රසූතිය පළමු වරට වඩා ඉක්මනින් සිදුවිය. දරුවන් දෙදෙනා අතර කාල පරාසය විනාඩි හතක් යැයි යමෙකු පවසනු මට ඇසුණු අතර මම දරුවන් දෙදෙනා බැලීමට ඇඟිලි තුඩුවලින් ඉස්සෙන්නට වූයෙමි. තත්වය මදක් සාමකාමී වූ විට මට ප්‍රසූතිකාගාරය තුළට යෑමට ඉඩ ලැබිණි.

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now