පසුවදන

52 5 1
                                    

සඳට පෙම් බඳින්නම්
පසුවදන...

'සඳට පෙම් බඳින්නම්...' මේ කතාවට මේ නම දාන්නේ මම ගොඩාක් කල්පනා කරලා. මගේ යාලුවොන්ගෙනුත් ලස්සන වචන අහලා කරදර කලා මට මතකයි. ඒත් එයාලාට කතාවෙන් බිඳක්වත් කියන්න මගේ හිත දුන්නේ නැහැ. මට ඕනේ වුණේ මේ කතාව රහසක් විදිහටම තියාගන්න. ඉතිං එහෙම රහසක් විදිහට තියාගත්ත නිසා අන්තිමේ කතාවට නම දාන වගකීම මගේම වුණා.

ඉතිං.. සඳට පෙම් බඳින්නම්... මුලින්ම කතාවට ඇයි මේ නම කියන්නේ කියලා ඔයාලාට තේරුණේ නැතුව ඇති. ඒත් කතාව දැන් කියවලා අවසන් නිසා හොඳටම තේරෙනවා ඇති නේද ඇයි සඳට පෙම් බඳින්නම් කියන්නේ කියලා.

මුලින්ම අහන්න ඕනේ ප්‍රශ්නය තමයි, සඳකට පෙම් බඳින්න හැමෝටම පුලුවන් ද කියලා. ඇත්තටම සඳකට පෙම් කරන්න අපි හැමෝටම බැහැ. අන්න ඒ නිසයි කතාව අවසන් වෙද්දී කතාවේ 'සඳ' විදිහට හදුන්වන පුද්ගලයාට ආදරය වගේම වෛර කරන පිරිසක් බිහිවෙයි කියලා මම හිතුවේ. ඉරට ආදරේ කරන්න අපි හැමෝටම පුලුවන්. මොකද ඉර කියන්නේ අපිට ආලෝකය දෙන කෙනෙක්. ඒ ආලෝකයට අපි ආකර්ශනය වෙනවා. නමුත්.. සඳ කියලා කියන්නේ හැමවෙලේම ඉරේ උදව්වෙන් ආලෝකමක් වුණ පැත්තකුත්, අඳුරු පැත්තකුත්, අඳුරු ආවාටත් තියෙන තැනක්. ඉතිං සඳට ආදරේ කරන්න අපි හැමෝටම බැහැ. සමහරවිට සඳේ ආලෝකමත් පැත්තට විතරක් ආදරේ කරන අය ඉදියි. ඒත් අඳුරු පැත්තටත් ඒ විදිහටම ආදරේ කරන්න අපි හැමෝටම බැහැ. ඉතිං නුරායා කියන්නේ සඳකට ආදරේ කරන්න පුලුවන් කෙනෙක්. එයාට රදීෂ්ගේ අඳුරු පැත්තටත් ආදරේ කරන්නත්, ඒ අඳුරු පැත්ත වැළඳගන්නත් පුලුවන් වුණා.

එයාගේ සඳ නිසා නුරායාට ලැබුණු දේවල් වගේම අහිමිවුණ දේවල් වැඩියි. ඒත්.., නුරායා එයාගේ සඳ කවදාවත් අතෑරියේ නැහැ. මොකද එයා සඳකට ආදරේ කරන්න පුළුවන් විදිහේ හදවතක් තියෙන කෙනෙක්.

මට කතාවෙන් ප්‍රධානවම කියන්න ඕනේ වුණේ මේකයි. අපි සමහරුන්ව ඉරක් කියලා හිතාගෙන ඉන්නවා. නුරායා වුණත් මුලින්ම හිතුවේ රදීෂ් කියන්නේ ඉරක් කියලා. ඒත් අන්තිමේ බලද්දී රදීෂ් කියන්නේ සඳක්. අඳුරු පැත්ත තමන් තුළම සඟවගෙන මිහිතලය ආරක්ෂා කරන සඳ වගේ.. එයාත් නුරායාව ආරක්ෂා කළා. ආදරය කළා. ඉතිං.. අපිට, මට ඔයාට.. අපි හැමෝටම ඉන්නෙත් ඉරක් නෙවෙයි සඳක්. ඔයාලාට ඔයාලාගේ ජීවිතේ සහකාරයා දැනටමත් මුණගැහිලා නම්, නැත්නම් ඉස්සරහට මුණගැහෙන්න ඉන්නවා නම් හොඳට මතක තියාගන්න ඒ කෙනා සඳක්. එයාටත් අඳුරු පැත්තක් තියෙනවා, එයාගේ ජිවිතේත් දුක, වේදනාව, ප්‍රශ්න කියන දේවල් තියෙනවා. ඉතිං.. පුලුවන් නම් නුරායා වගේ සඳකට ආදරය කරන්න පුලුවන් කෙනෙක් වෙන්න. හැමවෙලේම ආදරය කරන කෙනා ඉරක් වෙලා ඔයාවත් ආලෝකමත් කරයි කියලා හිතන්නේ නැතුව, එයා සඳක් කියලා හිතලා, එයාගේ අඳුරු පැත්තටත්, අඳුරු ආවාට වලටත් ආදරය කරන්න.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now