54

566 67 0
                                    

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️54 කොටස💜️

"දුවගෙ තේ එක නම් රසයි..අත් ගුණේ නම් ඉතින් අම්මාගෙ වගේම ඇති.පුතා ස්කෝලේ යන කාලෙත් දූලාගේ දිහා ගියාම දූලාගේ අම්මා කෑමක් දුන්නොත් සමහර වෙලාවට ඔතන් එනවා..හ්ම්ම්..ඒ අත් ගුණේම තමා..."

මාලක කිව්වේ අහිංසා හැදුව උණුසුම් තේ කෝප්පය රස විඳින ගමන්.ඇය හදන කෑමක බීමක රස දන්න ඕන කෙනෙක් ඇයව කවදත් ප්‍රශංසා කළත් සාරංගගේ නිවසේදී ඔහුගේ පියා විසින් කරන ඒ ප්‍රශංසා ඇයට ගෙනාවේ සියුම් ලැජ්ජාවක්.සාරංග තේ උගුරක් බොන ගමන් ඇයට දෑසෙන්ම ඉඟි මරද්දි අහිංසාගේ මුවේ ඇදුනේ ලස්සන හිනාවක්.

"ඔය වයසට අද කාලේ ගෑණු ළමයෙක් උයන්න ඉගෙන ගන්න එකත් ලොකු දෙයක්..."

මාලකගේ වර්ණනාවේ තවත් ඉවරයක් නෑ.

"අනේ ඔය ඉතින් නිකන් තේ එකක්නේ..ඔක්කොම එකට දැම්මා.වැක්කෙරුවා..එච්චරයි"

අහිංසා කිව්වත් මිහිරානි නම් කට වහගෙනම උන්නේ මාලක මේ නොකියා කියන්නේ ශාදිගේ අඩුපාඩුම නිසා.ඇයට අහිංසා එක්ක ගැටලුවක් නැති උනත් මාලක විසින් ව්‍යංගයෙන් ශාදිව පහත් කර අහිංසාව ඉස්මතු කරන එක ගැන නම් තිබුනේ සියුම් නොරිස්සුමක්.

"ඒ උනාට හැමෝටම ඒ පදම ඒ විදියටම ගන්න බෑ"

"ශාදි දුව ඇයි දන්නෙ නෑ පරක්කු?කෝල් එකක් දාලා බලන්න ඕනේ..අහිංසා දුවට සැලෝන් එකේ වැඩත් පාඩු වෙනවා නේද අපි නිසා...?මං මේ ළමයට කිව්වේ ශාදිව එක්කගෙන ඔහෙට යන්න කියලා..පිස්සුනේ දුවව මෙහෙම රස්තියාදු කෙරෙව්වේ"

තේ එක ගැන කතාවට තිත තබමින් ඇය කිව්ව දේටත් වඩා ඇය එය පැවසූ ස්වරයේ අමුත්තක් අහිංසාට දැනුනා.මිහිරානි නැඟිට සිය කුඩා ජංගම දුරකථනය අතට ගද්දී අහිංසාට දැනුනේ සියුම් දුකක්.මිහිරානි ශාදිව තම ලේලිය කරගැනීමේ අදහස කෙදිනකවත් නැති කරගන්නේ නැති බව දැන් නම් ඇයට විශ්වාසයි.මෙතෙක් වෙලා පිරී තිබූ වත මැලවුනු විදිය දැකපු සාරංග දෑස් වලින් ඒ ගැන විමසුවත් මුකුත් නැතැයි පැවසීමට හිස සලා ඇය දෑස් ගෙන ගියේ සිනහවකින් මුව සරසාගෙන ආලින්දයේ කෙළවරක ශාදි සමඟ වඩාත් ලයාන්විතව ඇමතුමක සිටිනා මිහිරානි දිහාවට.සාරංගව අහිමි වේවිදෝ බියකින් හිත වෙලා ගද්දි අහිංසා හිස් වූ තේ කෝප්ප රැගෙන මුලුතැන්ගෙට වැදුනා.හිත කොච්චර දැඩි කරගන්න හැදුවත් ශාදිව සාරංග එක්ක දකින්න බැරි තරම් ඇය දුර්වලයි.මාලකගේ ලෙංගතුකමින් දැනුනු සතුට මිහිරානිගේ හැසිරීමෙන් වාශ්ප වෙලා ගියේ තුනී වේදනාවකින් හිත වෙලී යද්දී.ඒත් ඒ කිසිම වේදනාවක් අනිත් අය ඉදිරියේ පෙන්නන්න බැරි නිසාම ලය පුරවා හුස්මක් ගත් අහිංසා ඉක්මනට ආලින්දයට ගියත් මවාගත් සැහැල්ලුවත් නැති වෙලා ගියේ මිහිරානිගේ අතක වෙලී සිටින ශාදිව දැකලා.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now