53 පරිච්ඡේදය

1.4K 258 73
                                    

"යේන්?"

යේන් නිහඬ ය.

"මට තව දෙයක් අහන්න ඕනේ....."

මේ ඔහු එන අතරවාරයේ මෙලෙස ප්‍රශ්න අසන්නට අවසර ඉල්ලන හතරවැනි හෝ පස්වැනි වතාව ය. යේන් ඉදිරිය බලාගෙනම දිගු සුසුමක් පිට කළේ ය. ජිවිතේ ප්‍රථම වතාවට යේන් ෂමිත් ඉදිරියේ අපහසුතාවයට පත් වී සිටියේ ය. අනෙක් වේලාවලට ෂමිත්ව ඇවිස්සීමේ අරමුණින් තමා කරන කියන දේ දැන් ෂමිත්ගෙන් තමාට අත් විඳින්නට සිදු වී ඇති බව ඔහුට සිතිනි. ඔහුට එය දැඩි හිසරදයකි. විටෙක සුක්කානම ද ඔහුගේ දෑත්වලට තද වූයේ ඔහුටත් නොදැනීම ය.

"ඒ පාර මොකක්ද?"

නමුත් ෂමිත් තවත් කිසිවක් කියන්නට පෙර යේන්ගේ නෙත ගැටුණේ ප්‍රධාන පාර අයිනේ, රාත්‍රියේ විවර කර ඇති සිල්ලර කඩයකි. ඒ දුටු ඔහු ක්ෂණිකව වාහනය පාර අයිනට කර එම කඩය ඉස්සරහින් නැවැත්වූයේ ය. එයින් ෂමිත් ද එක්විටම කලබල විය.

"ඇයි නැවැත්තුවේ??"

ෂමිත් වාහනයෙන් පිටතත්, යේන් දෙසත් මාරුවෙන් මාරුවට බලමින් අසන විටත් යේන් වාහනයෙන් බැස හමාර ය.

"Stay!"

දබර ඇඟිල්ල ද ෂමිත් දෙසට දිගු කර අවධාරණාත්මක ස්වරයකින් කියූ යේන් එම කඩය තුළට යන දෙස ෂමිත් බලා සිටියේ ඔහුගේ පැත්තේ වීදුරුවට මූණ ම හේත්තු කරගෙන ය. නැතහොත් යේන්ව ඔහුට නොපෙනී යා හැකි ය. එය සිදු වන්නට ඉඩ දිය නොහැකි ය. ඒ මොහොතේ ඔහුගේ සිතේ තිබූ එකම අදහස එය පමණි. මිනිත්තුවක් ගත වන්නට පෙර නැවත පැමිණි යේන්, විවර කළේ ෂමිත් සිටි පැත්තේ දොර යි. ඔහුගේ මේ හැසිරීම දෙස ෂමිත් බලා සිටියේ දැඩි කුතුහලයෙනි. දොර විවර කළ යේන් එක්වරම ෂමිත්ගේ නිකටින් අල්ලා ඔහුගේ මුහුණ එසෙව්වේ ය.

ෂමිත් ඔහු දෙස බැලුවේ ලොකු කර ගත් දෑසිනි. නමුත් ඔහුගේ දෑසේ බියක සේයාවක්වත් නොවින. ඔහු වෙරි මතින් නොසිටියා නම් මේ වන විට ඔහු අනෙක් අසුන වෙත වුවත් පැන ගන්නට බැරි නැත. නමුත් වෙරි මතින් සිටි ෂමිත්ගේ ස්වරූපය ඔහුගේ සාමාන්‍ය ස්වරූපයෙහි විරුද්ධ පැත්ත ය. යේන්ව අපහසුතාවයට පත් කළේ වෙනත් කිසිවක් නොව ඔහුගේ මෙම අවංක, අධික කීකරු ස්වරූපය යි.

The Deathtrap Where stories live. Discover now