93 පරිච්ඡේදය

1.1K 217 84
                                    


සැහැල්ලු කලිසමකට හා ටී ෂර්ටයකට මාරු වී තම වතුර බේරෙන කොණ්ඩය පිස දමමින් පැමිණි යේන්ගේ නෙත් යොමු වූයේ ඒ වන විටත් තද නින්දේ පසු වූ ෂමිත් වෙත ය. පොරවන රෙද්ද ද පසෙකට දමා, ඇඳේ දකුණු පස කොනට ම වී වකුටු වී ඔහු නිදාගෙන සිටියේ ය. ඒ වන විට වේලාව පාන්දර හතරට පමණ ආසන්න ය. ඔහුගේ නින්දට කිසිදු බාධාවක් නොකළ යේන් ඔහුගේ මේසයෙන් හිඳ ගත්තේ කාමරයේ විදුලි බුබුලු ද අඩ අඳුර පමණක් ඉතිරි වන සේ නිවා දමමිනි.

තම ලැප් ටොප් පරිගණකය විවර කර ගත් ඔහු මීළඟට එක දිගට ම කුමක් හෝ යතුරු පුවරුවේ සටහන් කරන්නට විය. මද වේලාවකින් ම එයට පිළිතුරු ඔහුට ලැබිණි. එබැවින් එය තවත් කා සමග හෝ සිදු වූ පණිවිඩ හුවමාරුවක් බව වටහා ගන්නට හැකි ය.

මෙලෙස මෙම සංවාදය කෙතරම් තිබුණා ද කියතොත් හතරයි හතළිස් පහ පමණ වන තුරුත් ඔහුට වේලාව පිළිබඳ සිහියක් නොවී ය. කෙසේ වෙතත් ඔහුට නින්ද නම් අහලකවත් නැත. ඔහු සිටියේ සැනසීමෙන් දෑස් පියා ගත හැකි මානසිකත්වයකින් නොවේ. ෂමිත් නම් මේ වන විට සිටියේ ගැඹුරු නින්දක යි.

පුටුවේ පසුපසට ඇල වී ඇඟේ පතේ හිරි ඇරි යේන් කෙලින් වූයේ කුස්සියට ගොස් බීමට කුමක් හෝ රැගෙන ඒමේ අරමුණෙනි. නමුත් ඊට පෙර ඔහුගේ දෙනෙත් නිදා සිටි ෂමිත් වෙත යොමු විය. එයට හේතුව ඔහුට ඇසුණු සියුම් හඬකි. ඒ කුමක්දැයි වටහා ගන්නට මෙන් ඔහු ඒ අයුරෙන් ම තවත් මද වේලාවක් ෂමිත් දෙස බලා සිටියේ ය. මීළඟට ෂමිත්ගේ මුවින් නැගුණු අපැහැදිලි සියුම් හඬවල් ඒ මොහොතේ ඔහු සිටින්නේ කුමක් හෝ සිහිනයක් දකිමින් බව තහවුරු කළේ ය.

යේන්ට ඒත් ඔහුව අවදි කරන්නට උවමනාවක් නොතිබිණි. නමුත් ඔහු දකින්නේ කුමක් වුවත් එය හොඳ සිහිනයක් නොවන බව තහවුරු වන ආකාරයේ ප්‍රතිචාරයන් දිගින් දිගට ම ෂමිත්ගෙන් පිළිඹිබු විය. කිහිප විටක් ම එහෙ මෙහෙ හැරුණු ඔහු තවත් විටෙක දෙකකුල් ද නවා ගනිමින් තව තවත් වකුටු විය. ඔහුගේ මුවින් පෙරදී නැගුණු කෙඳිරිලි හඬවල් පවා යම්කිසි අපහසුවක් පෙන්නුම් කරන ආකාරයකට වෙනස් වී තිබිණි. කොටින් ම කියතොත් ඔහුගේ හුස්ම ගැනීමේ වේගය ද සාමාන්‍ය වේගයට වඩා වැඩි ය. ඔහුව අවදි කිරීම හොඳ බව යේන්ට සිතුනේ එවිට ය.

The Deathtrap Where stories live. Discover now