115 පරිච්ඡේදය

748 168 27
                                    

නැවත රෝහලේ සිට ආයතනය වෙත එන අතරතුර යේන් සිටියේ දරුණු කල්පනාවක ගිලීගෙන යි. ෂෙරිල්ට හෝ අන් කිසිවෙකුට එක් වචනයක් නොකී ඔහු නිහඬව විදුරුවෙන් පිටත බලාගෙන නිසොල්මන්ව සිටියේ ය. නමුත් ඔහුගේ මනස මේ වන විට කුණාටුවකට හසු වූ දියඹක් වැනි ය. එය කෙතරම් දරුණු ද කියතොත් ඔහුට මීළඟට කළ යුත්තේ කුමක්දැයි තීරණය කර ගන්නට නොහැකි වී තිබිණ.

'මගේ පුතා...'

ඔහුගේ හිස තුළින් එය නැවත නැවත ඇසෙන්නට මේ වන විට පටන් ගෙන තිබිණි. ජීවිතයේ පළමු වතාවට ඔහු එවැනි වචනයක් වෙනත් කෙනෙකුගේ මුවින් ඇසුවේ එදින ය. ඒවා වචන පමණක් නොවේ. ඇයව නොදැන සිටිය ද එම වචනවල වූ විශේෂත්වය යේන්ගේ මුලු ගතට ම දැනුණා කියතොත් නිවැරදි ය. ඔහු එවැන්නක් කිසි ලෙසකවත් බලාපොරොත්තු නොවූවකි.

තම දරුවෙකුට සත්‍ය ලෙසම ආදරය කරන මවකගේ වචන පමණක් එම ආදරය දැනෙන සේ ප්‍රකාශ කරන්නට ප්‍රමාණවත් ය. මවකගේ ආදරය මැනිය නොහැකි වුවත් එය කෙතරම් ගැඹුරු දැයි දරුවෙකුට වටහා ගන්නට ඇගේ ස්වරයේ ස්වභාවය, ඒ මොහොතේ මුහුණේ ස්වභාවය ඕනෑවටත් වඩා වැඩි ය.

ජීවිතයේ පළමු වතාවට එවැනි නුහුරු හැඟීමකට මුහුණ දීමට සිදු වීම යේන්ව දැඩි සේ ව්‍යාකූල කර තිබිණි. ඇගේ ඉල්ලීම මත යේන් පුටුවෙන් වාඩි වූ පසු ඇය දිගටම ඔහු සමග කතා කරන්නට පටන් ගත්තා ය. යේන් කළේ එයට වචනයෙන් දෙකෙන් පිළිතුරු ලබා දීම පමණි. නමුත් ඇයට නම්, කතා කර අවසන් කරන්නට නොහැකි තරම් දේවල් ඇති බව පෙනෙන්නට තිබිණ.

ඇය ඒ කියන සෑම වදනක් පාසාම යේන් දෙස සැලකිල්ලෙන් බැලුවා ය. ඇය ලැබුණු කුඩා ඉඩෙන් ඔහුව හැකි තරමක් තම දෑසට හසු කර ගන්නට උත්සහ දැරුවා ය. ඇය යේන්ගෙන් ඇසුවේ ඉතා සරල ප්‍රශ්න යි. ඔහුගේ දවස ගත වන අයුරු, කන්නට කැමති කෑම, ආසම පාට, ඔහුගේ විනෝදාංශ ඇයට දැන ගන්නට උවමනා විය.

නමුත් යේන්ගේ අතීතය ගැනවත්, තමාගේ හා කුමාර්ගේ අතීතය ගැනවත් ඇය කිසිවක් නොපැවසුවා ය. යේන්ගෙන් ඒවා අසන්නට උත්සාහ කළේ ද නැත. පැයකට පමණ ආසන්න කාලයකට පසුව ඇය නිහඬ වූයේ යේන්ගේ කටයුතු තව දුරටත් පාඩු කර ගත යුතු නැති බව පවසමිනි. නමුත් යේන් ඒ කාමරයෙන් පිට වන්නට පෙර ඇය තවත් යමක් පැවසුවා ය.

The Deathtrap Where stories live. Discover now