119 පරිච්ඡේදය

755 157 34
                                    

කුමාර්ගේ ඇමතුමෙන් පසු ආයතනය තුළ වෙනසක් ඇති නොවූවත් එහි කොටස්කරුවන් අතර එය එසේ නොවන බව සත්‍ය විය. රහල් හා මධාරා මේ තීරණයට එක පයින් කැමති නොවූවත් ඔවුන්ව පාලනය කිරීමට තම පියාට හැකි බව යේන් දැන සිටියේ ය. එබැවින් ඔහු, ඔවුන් දෙදෙනා ගැන වද නොවූ තරම් ය. නෙවින් ද ඒ බෝට්ටුවට ම අයත් ය.

නමුත් එදින නිවසට යාමට පෙර මධාරා හා රහල් පැමිණ යේන්ගෙන් ඔහුට මුහුණ පාන්නට වූ අනතුර ගැන වැඩි විස්තර අසා ගත්තේ ය. ඔවුන් මෙයට කුමක් හෝ ක්‍රියාමාර්ගයක් ගන්නා බව යේන්ට වැටහිණ. ඔවුන් දෙදෙනා ම රටෙහි ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ වෙති. එබැවින් තම පවුලට ඇති මෙවැනි අනතුරක් ගැන දැන දැනත් ඔවුන් නිහඬව සිටීම සිදු නොවන්නකි. නමුත් එසේ වුවත් එයින් තමන්ට මහා ලොකු බලපෑමක් සිදු නොවන බව යේන් දැන සිටියේ ය. එබැවින් ඔහු ඔවුන්ව නවත්වන්නටවත්, ඔවුන්ට වැඩි කිසිවක් කියන්නටවත් ගියේ නැත.

අනෙක් අතට කුමාර්ගේ මේ හදිසි තීරණයෙන් මාලියා දැඩි සේ කම්පනයට පත් ව සිටියා ය. ඔහු ගැන සොයා බලන්නට නොහැකි වීමත්, මෙම අනතුර ගැන වැඩි දුර සැලකිල්ලක් නොදැක්වීමත් ගැන තමාට ම දොස් පවරා ගත් ඇය සිටියේ කලකිරීමෙන් හා දුකකින් බව දුටු විට ම පැවසිය හැකි විය. සාකච්ඡාව අවසන් වීමෙන් පසු ඇය ද කෙළින් ම නිවසට ගියා ය.

රාත්‍රිය උදා වන විට ආයතනයේ ඉතිරි වී සිටියේ සාකච්ඡාව සහභාගී වූ අයගෙන් යේන්, විරාජ්, රහල්, මධාරා, ෂෙරිල් හා රොහාන් පමණි. රාත්‍රී කෑම වේලාවට පෙර රහල් මෙන් ම මධාරා ද නිසැකව ම පිටව යයි. ඉතිරි වන්නේ අනෙක් දෙදෙනා පමණි. සාකච්ඡාවෙන් පසු කුමක් හෝ විශේෂ යමක් සිදු වේ යැයි යේන් සිතා සිටියත් තවමත් තත්ත්වය පෙර සේ ම සාමාන්‍ය විය. 

රාත්‍රී නවයහමාරට පමණ යේන් ඔහුගේ කාර්යාලයේ පුටුවේ වාඩි වී සිටින අතරම සිගරට්ටුවක් දල්වා ගත්තේ බැල්කනියට යන්නට ද කරදර නොවෙමිනි. මේ මොහොතේ ඔහුගේ කාර්යාලයට පැමිණෙනවා නම් ඒ විරාජ් පමණි. 

නමුත් ඒ අනුමානය බිඳ දමමින් යේන්ගේ සිගරට්ටුව අවසන් වන්නටත් පෙර ඔහුගේ දොරට තට්ටු කර ඇතුළට පැමිණියේ ෂෙරිල් ය. එය තරමක් අනපේක්ෂිත වුවත් යේන් කිසිදු වෙනසක් නැතිව පුටුව අඩියක් පමණ මේසයෙන් පසුපසට ඇද ගෙන ඇය දෙස බැලුවේ ය. 

The Deathtrap Where stories live. Discover now