84 පරිච්ඡේදය

1.2K 230 53
                                    

ඊළඟ දින උදෑසන ම යේන් ෂමිත්ව ඔහුගේ නිවස වෙත ගෙන ගොස් ඇරලුවේ ය. ෂමිත්ට දැනුණේ දැඩි සහනයකි. ඒ එන අතරතුර ඔහුට යේන් සමග, ඔවුන් පසුපස ලුහුබැඳ එන තැනැත්තා සොයා ගැනීම පිළිබඳව කතා කරන්නට ඉඩකඩ ලැබිණි. යේන් පවසන ආකාරයට දැන් කරන්නට ඇති හොඳම දේ ඔවුන් ඒ පුද්ගලයා සෙවීම අත්හැර දමා ඇති බව පිටතට පෙන්වීම ය. එයින් වාසියක් ලබා ගත හැකි බව ඔහුගේ විශ්වාසය විය. ඒ නැතත් යේන් දැන් දිනපතා ආයතනයට යන බැවින් ඔවුන්ගේ ප්‍රබල ම සැකය එල්ල වී ඇති පුද්ගලයා ගැන අවධානයෙන් සිටීම එතරම් අපහසු වන්නේ ද නැත. 

එබැවින් යේන්, ඔහුට විරුද්ධව යොදා ගත හැකි නිශ්චිත සාක්ෂියක් සොයා ගන්නා තුරු නිහඬව සිටීම හොඳ බව තීරණය කර තිබිණි. මන්ද ඔවුන්ගේ ඡායාරූප සියල්ල ම තවමත් ඔහු සතු ය. නමුත් යේන් හා ෂමිත් තවමත් හිස් අතිනි. ඔවුන් අත වූ වීඩියෝ පට කිහිපයෙන් ද වැඩි ප්‍රයෝජනයක් නැත. තවම වාසිය ඇත්තේ මේ සැඟවුණු වදකාරයා අත යි. තමන් ඔහුගේ සැක කටයුතු කිසිවක් සොයා ගන්නා තෙක් සාමාන්‍ය ආකාරයට හැසිරීම යේන්ගේ එක ම පියවර විය.

නිවසට පැමිණි පසු ෂමිත්ගේ කාලය නැවතත් සාමාන්‍ය අතට හැරිනි. ප්‍රශ්නය වූයේ ඔහුට නිවසට පැමිණි විගසම රිය පැදවීමේ පුහුණුව සඳහා සහභාගී වන්නට නොහැකි වීම යි. එබැවින් ඔහු කාලය ගත කළේ සැබෑ අලසකමිනි. ඒ කාලය අතරතුර ඔහුට යේන්ව දකින්නට නොහැකි වුවත් එය පෙර මෙන් ඔහුගේ සිතට බරක් වූයේ නැත. මන්ද යේන් දිනපතා ම ඔහු සමග කතා කරන්නට පටන් ගත් බැවිනි. 

දුරකථන ඇමතුමකින් කතා කිරීම අවම වුවත් ඔවුන් දිනකට කුඩා වේලාවක් හෝ කෙටි පණිවිඩ හුවමාරු කර ගන්නට පුරුදු විය. එයින් යේන් තව දුරටත් තමාව මග හරින්නට උත්සහ නොකරන බව ෂමිත්ට තේරුම් ගත හැකි විය. එබැවින් යේන්ට පෙර මෙන් කරදර කරන්නට හෝ ඔහුට ළං වන්නට කිසිදු ආයාසයක් දරන්නට ද ෂමිත්ට අවශ්‍ය වූයේ නැත. ඔහුට මේ දින කිහිපය නිදහස් මනසකින් ගත කරන්නට හැකි වූයේ එනිසාවෙනි. නමුත් එය කෙතරම් කලක් පවතීවි දැයි ඔවුන් දෙදෙනාම දැන සිටියේ නැත.

ෂමිත්, ඔහුගේ ඇඟේ පතේ වේදනාව අවම වී පෙර සිටි තත්ත්වයට පත් වන්නට හැකි වූ විගසම නිවසින් එලියට බැස්සේ ය. ඒ නිවසට පැමිණ හරියට ම සතියකට පසුව යි. නැවතත් අතරමග දී කවුරුන් හෝ පැමිණ ඔහුව කුදලාගෙන යාවි යන සිතුවිල්ල ඔහුගේ යටි සිතේ රැඳී තිබුණත්, පෙර සිදු වූ දේට වඩා නරක දෙයක් සිදු විය නොහැකි බව සිතමින් ඔහු එය සිතින් ඉවත් කර දමන්නට උත්සහ කළේ ය. 

The Deathtrap Where stories live. Discover now